المدثر
The Cloaked One • 56 ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ
1අහෝ පොරවා ගෙන සිටින්නාණනි!
2නුඹ නැගී සිට, අවවාද කරනු.
3තවද නුඹගේ පරමාධිපතිව උත්කෘෂ්ට කරනු.
4තවද නුඹගේ වස්ත්‍රය පිරිසිදු කරනු.
5තවද කිලිට්ටෙන් වළකිනු.
6නුඹ අධික වශයෙන් ලබන්නට බලාපොරොත්තු වී උපකාර නො කරනු.
7තවද නුඹේ පරමාධිපති වෙනුවෙන් නුඹ ඉවසනු.
8හොරණෑවෙහි හඬ නිකුත් කරනු ලැබූ විට;
9එය දුෂ්කර දිනයක් වනු ඇත.
10දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ට එදින පහසු නො වනු ඇත.
11මා හා මා මැවූ අය නුඹ තනිව අත හැර දමනු.
12තවද මම ඔහුට බොහෝ සේ ධනය ඇති කර දුනිමි.
13ඔහු සමඟ වන දරුවන් ද (ඇති කර දුනිමි.)
14තවද (සියල්ල) පහසු කරමින් මම ඔහුට දිගු හැර දුනිමි.
15පසුව ද මම වැඩියෙන් දිය යුතු යැයි ඔහු ප්‍රිය කරන්නේ ය.
16එසේ නො ව; නියත වශයෙන්ම ඔහු අපගේ වදන්වලට විරුද්ධ විය.
17ඔහුට දරුණු දඬුවමක් මම මතු පටවන්නෙමි.
18නියත වශයෙන් ම ඔහු කල්පනා කොට සැලසුම් යෙදුවේ ය.
19ඔහු විනාශ කරනු ලැබී ය. ඔහු කෙසේ නම් සැලසුම් කළේ ද?
20පසුව ද ඔහු විනාශ කරනු ලැබී ය. ඔහු කෙසේ නම් සැලසුම් කළේ ද?
21පසුව ඔහු අධීක්ෂණය කර බැලී ය.
22පසුව ඔහු රවා කිපුණේ ය.
23පසුව ඔහු පිටු පා උඩඟු විය.
24එවිට මෙය දන්වනු ලැබූ හූනියමක් මිස නැතැයි ඔහු පැවසුවේ ය.
25මෙය මිනිසාගේ ප්‍රකාශයක් මිස නැතැයි (ඔහු පැවසුවේ ය.)
26මම ඔහු සකර්(නම් නිරය)ට මතු ඇතුළත් කරමි.
27සකර් යනු කුමක්දැ? යි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?
28එය (කිසිවක්) ඉතිරි නොකරයි. තවද අත් හැර නො දමයි.
29සම දැඩි ලෙස දවාලන්නකි.
30ඒ මත දහනව දෙනෙකි.
31නිරයේ සගයින් ලෙස මලක්වරුන් මිස (වෙනත් අය) අපි පත් නො කළෙමු. දේවත්වය ප්‍රතික්ෂේප කළවුනට මොවුන්ගේ සංඛ්‍යාව පරීක්ෂණයක් ලෙසින් මිස අපි පත් නො කළෙමු. එය ධර්ම ග්‍රන්ථ දෙනු ලැබූවන් ස්ථාවරත්වයට පත් වනු පිණිසත් ය. තවද දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූවන්ගේ විශ්වාසය වර්ධනය කරනු පිණිසත් ධර්ම ග්‍රන්ථ දෙනු ලැබූවන් හා දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූවන් සැක නො කරනු පිණිසත් ය. එමෙන් ම "මෙමඟින් උපමාවක් ලෙසින් අල්ලාහ් අදහස් කරනුයේ කුමක් දැ?"යි තම සිත් තුළ රෝග ඇතිවුන් හා දෙවියන් ගැන ප්‍රතික්ෂේප කළවුන් පවසනු පිණිසත් ය. එලෙස අල්ලාහ් තමන් අභිමත කරන අය නොමග යවයි. තවද තමන් අභිමත කරන අයට මග පෙන්වයි. නුඹගේ පරමාධිපතිගේ සේනාව ගැන ඔහු හැර වෙනත් කිසිවෙක් නො දනී. මෙය මිනිසුනට මෙනෙහි කිරීමක් මිස නැත.
32එසේ නොව, සඳු මත දිවුරමින්.
33රාත්‍රිය ගෙවී යන විට එය මත දිවුරමින්.
34අරුණෝදය උදා වන විට එය මත දිවුරමින්.
35නියත වශයෙන් ම එය (නිරය) බලවත් කරුණු අතරින් එකකි.
36මිනිසාට අනතුරු අඟවන්නක් වශයෙනි.
37එය නුඹලා අතරින් පෙරට යාමට හෝ පසුබැස රැඳෙන්නට කැමති අය වෙනුවෙනි.
38සෑම ආත්මයක් ම තමන් උපයා ගත් දෑ වෙනුවෙන් ඇපකරුවෙකු ලෙස සිටින්නේ ය.
39එහෙත් දකුණුපස ජනයා හැර.
40ඔවුන් ස්වර්ග උයන් මත සිට විමසති.
41වැරදි කරුවන්ගෙන්;
42"නුඹලාව සකර් තුළට ගෙන ආවේ කුමක් ද?"
43"අපි සලාත් ඉටු කරන්නන් අතුරින් නො වූයෙමු" යැයි ඔවුහු පැවසූහ.
44තවද අපි දිළිඳුන්ට ආහාර සපයමින් නො සිටියෙමු.
45"(නිෂ්ඵල කටයුතුවල) ගිලී සිටින්නන් සමඟ අප ද ගිලී සිටියෙමු".
46තවද අපි විනිශ්චය දිනය බොරු කරමින් සිටියෙමු.
47ස්ථීර දෑ (මරණය) අප වෙත පැමිණෙන තෙක්.
48එහෙයින් මැදිහත්වන්නන්ගේ මැදිහත්වීම ඔවුනට ඵලක් නො වන්නේ ය.
49එහෙයින් ඔවුනට කුමක් වී ද? ඔවුන් මෙනෙහි කිරීම පිටුදකින්නන් ය.
50ඔවුන් තැති ගත් බූරුවන් මෙනි.
51සිංහ ගොදුරින් පලා යන.
52එසේ නොව දිගු හරින ලද පත්‍රිකාවන් තමන්ට ද දෙනු ලැබිය යුතු යැයි ඔවුන් අතරින් සෑම කෙනෙකුම අපේක්ෂා කරනු ඇත.
53එසේ නොව ඔවුහු මතු ලොව පිළිබඳ බිය නො වෙති.
54එසේ නොව නියත වශයෙන් ම එය උපදෙසකි.
55එහෙයින් කවරෙකු අභිමත කරන්නේ ද ඔහු එයින් උපදෙස් ලබත්වා!
56අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස ඔවුහු උපදෙස් නො ලබති. ඔහු බැතිමත්කම ලබන්නට සුදුස්සා ය. එමෙන් ම සමාව දායාද කරන්නට ද සුදුස්සා ය.