النازعات
Those Who Drag Forth • 46 ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ
1සාහසික ලෙස (ප්‍රාණය) ගලවන්නන් මත දිවුරමින්.
2මෘදු ලෙස ගලවන්නන් මත ද දිවුරමින්.
3පාවෙමින් පිහිනා යන්නන් මත ද දිවුරමින්.
4තරඟකාරී ලෙස තරඟ වදින්නන් මත ද (දිවුරමින්)
5කටයුතු මෙහෙයවන්නන් මත ද (දිවුරමින්)
6එදින කම්පනය වන දෑ කම්පනය වේ.
7එයට පරව කම්පනය නැවත සිදු වනු ඇත.
8එදින හදවත් (බියෙන්) තැති ගනියි.
9ඔවුන්ගේ බැල්ම බියෙන් පවතී.
10“නියත වශයෙන් ම අපි පෙර තත්ත්වයට ම නැවත හරවනු ලබන්නෙමු දැ” යි ඔවුහු පවසති.
11“අප දිරා ගිය අස්ථි බවට පත්වූයේ පසුව ද?”
12“එසේ නම් එය අලාභවන්ත හැරීමකි” යැයි ඔවුහු පවසති.
13එහෙත් එය එක් භයානක හඬක් පමණි.
14එවිට ඔවුහු (විනිශ්චය සඳහා) එළිමහන් තැනක සිටිති.
15මූසාගේ තොරතුරු (නබිවරය!) නුඹට ලැබුණේ ද?
16ඔහුගේ පරමාධිපති ඔහුව තුවා නම් පාරිශුද්ධ නිම්නයෙහි ඇමතූ විට,
17ඔබ ෆිර්අවුන් වෙත යනු. නියත වශයෙන් ම ඔහු සීමාව ඉක්මවා ගොස් ඇත.
18එවිට ඔබ පිවිතුරු වීමට ඔබට (කැමැත්තක්) ඇත්දැයි නුඹ විමසනු.
19තවද මා ඔබට ඔබේ පරමාධිපති වෙත මඟ පෙන්වන්නෙමි. එවිට ඔබ බියබැතිමත් වනු ඇත.
20එවිට ඔහු (මූසා) ඔහුට මහා සළකුණ පෙන්වී ය.
21එහෙත් ඔහු (ෆිර්අවුන් එය) බොරු යැයි පවසා පිටුපෑවේ ය.
22පසුව පසු බැස ගොස් (ඔහුට හානි කිරීමට) වෑයම් කළේ ය.
23එවිට ඔහු (ඔහුගේ ජනයා) රැස් කොට ඇමතුවේ ය.
24එවිට මම නුඹලාගේ උසස් පරමාධිපති වෙමි යැයි ඔහු පැවසුවේ ය.
25එහෙයින් අල්ලාහ් මෙලොව හා පරලොව දඬුවමට ඔහුව හසු කර ගත්තේ ය.
26නියත වශයෙන් ම (අල්ලාහ්ට) බියවන්නෙකුට එහි පාඩමක් ඇත.
27මැවීමට දුෂ්කර වන්නේ නුඹලා ද නැතහොත් අහස ද? එය ඔහු(අල්ලාහ්) නිර්මාණය කළේ ය.
28ඔහු එහි වියන ඔසවා පසුව එය නිවැරදිව සැකසුවේ ය.
29තවද ඔහු එහි රාත්‍රිය (අඳුරෙන්) ආවරණය කර එහි දහවල හෙළි කළේ ය.
30තවද මහපොළොව ඉන් පසුව ඔහු එය දිග හැරියේ ය.
31ඔහු එයින් එහි ඇති ජලය ද එහි ඇති තණබිම් ද හටගැන්වී ය.
32තවද කඳු එය ඔහු ස්ථාපිත කළේ ය.
33(එය) නුඹලාට හා නුඹලාගේ ගොවිපළ සතුන්ට භුක්ති විඳීමක් වශයෙනි.
34එහෙත් මහත් ව්‍යසනය පැමිණි විට,
35එදින මිනිසා තමන් (මෙලොව) ප්‍රයත්න දැරූ දෑ සිහිපත් කරන්නේ ය.
36තවද නරඹන්නන්හට නිරය ප්‍රත්‍යක්ෂ කරනු ලබයි.
37"එහෙයින් සීමාව උල්ලංඝනය කර"
38"මෙලොව ජීවිතය තෝරා ගත් අය වූ කලී"
39සැබැවින් ම නිරය වන එය මය (ඔවුන්ගේ) නිවහන වන්නේ.
40"තවද තම පරමාධිපතිගේ සන්නිධාන(යේ පෙනී සිටීම)ට බිය වී තම ආත්මය ආශාවන්ගෙන් වළක්වා ගත් අය වූ කලී"
41සැබැවින් ම ස්වර්ගය වන එය මය (ඔවුන්ගේ) නිවහන වන්නේ.
42එම හෝරාව එය කවදා සිදු වන්නේ දැ? යි ඔවුහු ඔබගෙන් විමසති.
43ඒ පිළිබඳ පැවසීමට ඔබට කුම(න බලය)ක් තිබේ ද?
44එහි අවසන් තීන්දුව නුඹගේ පරමාධිපති වෙත ය.
45ඒ පිළිබඳ බිය වන්නන්ට සැබැවින් ම නුඹ අවවාද කරන්නෙක් පමණි.
46සැබැවින් ම ඔවුන් එදින (එය දකින විට) සවස් කාලයක් හෝ දිවා කාලයක් හෝ මිස (ලොවෙහි) රැඳී නො සිටියාක් මෙන් සිතනු ඇත.