طه
Ta-Ha • 135 ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ
1තාහා.[1]
2නුඹ අපහසුතාවයට පත් වනු පිණිස අපි නුඹ වෙත අල්-කුර්ආනය පහළ නො කළෙමු.
3බියෙන් පසු වන අයට උපදෙසක් වශයෙන් මිස (එය පහළ නො කළෙමු).
4(මෙය) මහපොළොව හා උස් වූ අහස් මැවූ ඔහුගෙන් වූ පහළ කිරීමක් වශයෙනි.
5මහා කරුණාන්විතයාණෝ (ඔහුට ම ආවේනික අයුරින්) අර්ෂයට ඉහළින් සිටියේය.
6අහස්හි ඇති දෑ ද මහපොළොවෙහි ඇති දෑ ද ඒ දෙක අතර ඇති දෑ ද පස් යට ඇති දෑ ද ඔහු සතු ය.
7තවද ප්‍රකාශය නුඹ හඬ නඟා පැවසුව ද සැබැවින් ම රහස් දෑ හා ඊටත් වඩා සැඟව ඇති දෑ නියත වශයෙන් ම ඔහු දනී.
8අල්ලාහ්, ඔහු හැර වෙනත් දෙවිඳෙකු නොමැත. ඔහුට අලංකාර නාමයන් ඇත.
9තවද මූසාගේ පුවත නුඹ වෙත පැමිණියේ ද?
10ඔහු ගින්නක් දුටු අවස්ථාවේ ‘නුඹලා රැඳී සිටිනු. නියත වශයෙන් ම මම ගින්නක් දුටුවෙමි. එයින් ගිනි මැලයක් නුඹලා වෙත ගෙන එන්නට මට පුළුවණ. එසේ නැතහොත් ගින්න අසලින් මග පෙන්වීමක් මා ලබන්නට පුළුවණ’ යැයි තම පවුලට ඔහු පැවසුවේ ය.
11ඔහු ඒ වෙත පැමිණි කල්හි ‘අහෝ මූසා! යැයි අමතනු ලැබී ය.
12නියත වශයෙන් ම මම නුඹගේ පරමාධිපති වෙමි. එහෙයින් නුඹගේ පාවහන් යුගල නුඹ ගලවා දමනු. නියත වශයෙන් ම නුඹ පාරිශුද්ධත්වයට පත් කරනු ලැබූ තුවා නම් මිටියාවතෙහි ය’.
13තවද මම නුඹව (නබිවරයකු වශයෙන්) තෝරා ගත්තෙමි. එහෙයින් හෙළිදරව් කරනු ලබන දෑට නුඹ සවන් දෙනු.
14නියත වශයෙන් ම මම අල්ලාහ් වෙමි. මා හැර වෙනත් දෙවිඳෙකු නොමැත. එහෙයින් නුඹ මට නැමදුම් කරනු. තවද මා මෙනෙහි කරනු වස් නුඹ සලාතය විධිමත්ව ඉටු කරනු.
15නියත වශයෙන් ම (අවසන්) හෝරාව පැමිණෙන්නකි. සෑම ආත්මයකට ම තමන් වෙහෙස වූ දෑ සඳහා ප්‍රතිඵල දෙනු ලබනු පිණිස මම එය සඟවා ඇත්තෙමි.
16එහෙයින් ඒ පිළිබඳ විශ්වාස නො කර තම ආශාවන් අනුගමනය කළ අය නුඹව එයින් නො වැළැක්විය යුතු ය. එසේ (වැළකී සිටියේ නම්) නුඹ විනාශයට පත්වන්නෙහි ය.
17තවද අහෝ මූසා! නුඹේ දකුණතෙහි ඇති එය කුමක් ද?
18‘එය මාගේ සැරයටිය වේ. මම ඒ මත බර දී සිටිමි. තවද එමඟින් මාගේ එළුවන්ට (අතු කොළ) කඩා බිම දමමි. තවද මට එහි වෙනත් අවශ්‍යතාවන් ද ඇත’ යැයි ඔහු (මූසා) පැවසී ය.
19‘අහෝ මූසා! නුඹ එය බිම හෙළනු’ යැයි ඔහු (අල්ලාහ්) පැවසුවේ ය.
20එවිට ඔහු එය බිම හෙළී ය. එසැණින් එය උරගා වේගයෙන් යන සර්පයෙකු බවට පත් විය.
21නුඹ එය අල්ලනු. තවද නුඹ බිය නො වනු. එහි මුල් ස්වභාවයට ම එය නැවත පත් කරන්නෙමු යැයි ඔහු (අල්ලාහ්) පැවසුවේ ය.
22තවද නුඹේ අත නුඹේ කිහිල්ල වෙත එකතු කර තබනු. කිසිදු හානියකින් තොරව තවත් සංඥාවක් ලෙස සුදුවන් දීප්තියක් එය පිට කරනු ඇත.
23(එය) අපගේ මහත් වූ සංඥාවන් අප නුඹට පෙන්වීම පිණිස ය.
24නුඹ ෆිර්අවුන් වෙත යනු. නියත වශයෙන් ම ඔහු සීමාව ඉක්මවා ගොස් ඇත.
25(එවිට මූසා) මාගේ පරමාධිපතියාණනි! මාගේ හදවත මා වෙත විවෘත කර දෙනු මැනව! යැයි ප්‍රාර්ථනා කළේය.
26තවද මාගේ කරුණ මා හට පහසු කර දෙනු මැනව!
27තවද මාගේ දිවෙහි ගැටය ලිහා දෙනු මැනව!
28මාගේ ප්‍රකාශය ඔවුහු වටහා ගන්නට..
29තවද මාහට මාගේ පවුලෙන් උදව්කරුවකු පත් කරනු මැනව!
30මාගේ සහෝදර හාරූන් ව..
31ඔහු මඟින් මාගේ ශක්තිය ඔබ අධික කරනු මැනව!
32තවද මාගේ කරුණෙහි ඔහුව ද හවුල් කරවනු මැනව!
33අධිකව අපි නුඹව පිවිතුරු කිරීම සඳහා.
34තවද අධිකව අපි නුඹව මෙනෙහි කිරීම සඳහා.
35නියත වශයෙන් ම නුඹ අප ගැන නිරීක්ෂා කරන්නෙකුව සිටියෙහි ය.
36අහෝ මූසා! නුඹේ ඉල්ලීම සැබැවින් නුඹට දෙනු ලැබුවේ යැයි ඔහු පැවසී ය.
37තවද (මීට පෙර) තවත් වරක් අපි නුඹ වෙත සැබැවින් ම උපකාර කළෙමු.
38(නුඹ ගැන) හෙළිදරව් කරනු ලබන දෑ නුඹගේ මව වෙත අපි හෙළිදරව් කළ අවස්ථාව සිහිපත් කරනු.
39පෙට්ටිය තුළ ඔහු බහාලනු. පසුව ගඟහි එය දමනු. ගඟ ඔහුව අද්දරට ගෙන යයි. මාගේ සතුරා හා ඔහුගේ සතුරා එය ගනු ඇත. තවද (අහෝ මූසා!) මා විසින් (මාගේ) සෙනෙහස නුඹ වෙත හෙළුවෙමි. එය මාගේ දෑස් ඉදිරිපිට නුඹ හදා වඩා ගනු ලබනු පිණිස ය.
40නුඹගේ සහෝදරිය (ඒ පසුපස) ගමන් කළ අවස්ථාවේ ‘මොහුගේ භාරකාරත්වය උසුලන අයෙකු මම නුඹලාට දන්වා සිටින්න දැ? යි’ ඇය පැවසුවා ය. පසුව අපි ඇය දුක් නො වනු පිණිස හා ඇයගේ නෙත් පිනවනු පිණිස නුඹව නුඹගේ මව වෙත නැවත යොමු කළෙමු. තවද නුඹ ජීවිතයක් මරා දැමුවෙහි ය. පසුව එම පීඩනයෙන් අපි නුඹව මුදවා ගත්තෙමු. (විවිධ) පරීක්ෂණ මඟින් අපි නුඹ පිරික්සුවෙමු. නුඹ මද්යන් වාසීන් අතර රැඳී සිටියෙහි ය. පසුව අහෝ මූසා! නියමිත කාලයෙහි නුඹ පැමිණියෙහි ය.
41තවද මා(ගේ දූත මෙහෙවර) වෙනුවෙන් මම නුඹව සූදානම් කළෙමි.
42නුඹ හා නුඹගේ සහෝදරයා මාගේ සංඥාවන් සමඟ පිටත්ව යනු. මා ගැන මෙනෙහි කිරීමෙහි නුඹලා දෙදෙනා අධෛර්යමත් නො වනු.
43නුඹලා දෙදෙනා ෆිර්අවුන් වෙත යනු. නියත වශයෙන් ම ඔහු සීමාව ඉක්මවා ගොස් ඇත.
44එවිට නුඹලා දෙදෙනා මෘදු වදනින් ඔහු සමඟ කතා කරනු. ඔහු උපදෙස් ලබන්නට හෝ ඔහු බියවන්නට හෝ පුළුවන.
45අපගේ පරමාධිපතියාණනි! ඔහු අප වෙත හිංසා කිරීම හෝ සීමාව ඉක්මවා කටයුතු කිරීම ගැන නියත වශයෙන් ම අපි බිය වන්නෙමු යැයි ඔවුන් දෙදෙනා පැවසුවෝ ය.
46නුඹලා දෙදෙනා බිය නො වනු. නියත වශයෙන් ම මම නුඹලා දෙදෙනා සමඟ සිට සවන් දෙමි. තවද (සියල්ල) දකිමි යැයි ඔහු පැවසී ය.
47එහෙයින් නුඹලා දෙදෙනා ඔහු වෙත ගොස් මෙසේ පවසනු; ‘නියත වශයෙන් ම අපි නුඹගේ පරමාධිපතිගේ දූතවරු දෙදෙනෙකු වෙමු. එහෙයින් අප සමඟ ඉස්රාඊල් දරුවන් එවනු. තවද නුඹ ඔවුනට දඬුවම් නො කරනු. නුඹගේ පරමාධිපතිගෙන් වූ සංඥාවක් සමඟ සැබැවින් ම අපි නුඹ වෙත පැමිණ ඇත්තෙමු. යහ මග අනුගමනය කළවුන් මත ශාන්තිය අත් වේවා!
48නියත වශයෙන් ම දඬුවම (අපගේ සංඥා) බොරු කොට පිටුපා ගියවුන් කෙරෙහිය යැයි සැබැවින් ම අප වෙත දේව පණිවිඩ දෙන ලදි.
49අහෝ මූසා! එසේ නම් නුඹලා දෙදෙනාගේ පරමාධිපති කවුදැයි ඔහු විමසීය.
50අපගේ පරමාධිපති වනාහි ඔහුගේ සෑම දෙයකට ම එහි ස්වරූපය පිරිනමා පසුව මග පෙන්වීම ලබා දුන්නේ ය." යැයි ඔහු (මූසා) පිළිතුරු දුන්නේ ය.
51එසේ නම් මුල් පරම්පරාවන්ගේ තත්ත්වය කුමක් දැ?යි ඔහු විමසී ය.
52ඒ පිළිබඳ දැනුම මාගේ පරමාධිපති අබියස වූ ලේඛනයෙහි ඇත්තේ ය. මාගේ පරමාධිපතිට වරදින්නේ නැත. තවද අමතක වන්නේ ද නැතැයි ඔහු පැවසී ය.
53ඔහු වනාහි නුඹලාට මහපොළොව තොටිල්ලක් බවට පත් කළේ ය. තවද එහි නුඹලාට මාර්ග පහසුකම් සැලසුවේ ය. තවද අහසින් ජලය පතිත කර එමඟින් විවිධ පැළෑටි වර්ග හට ගැන්වී ය.
54නුඹලා අනුභව කරනු. තවද නුඹලාගේ ගොවිපළ සතුන්ට උළා කන්නට හරිනු. නියත වශයෙන් ම එහි බුද්ධිය ඇත්තවුන්හට සංඥාවන් ඇත.
55(මහපොළොව වන) එයින්ය අප නුඹලා මැව්වේ. තවද ඒ තුළටය අප නුඹලා නැවත යොමු කරනුයේ. තවද යළිත් වරක් එයින්ය අප නුඹලා බැහැර කරනුයේ.
56සැබැවින් ම අපි අපගේ ඒ සියලු සාධක ඔහුට පෙන්වූයෙමු. එහෙත් ඔහු බොරු කළේ ය. තවද පිටුපෑවේ ය.
57අහෝ, මූසා! නුඹ නුඹගේ මායාව මඟින් අපගේ භූමියෙන් අප බැහැර කිරීමට නුඹ අප වෙත පැමිණියෙහි දැ? යි ඔහු පැවසී ය.
58එසේ නම් අපි ද එවැනිම මායාවක් ඔබ වෙත ගෙන එන්නෙමු. එහෙයින් අප හෝ ඔබ එයට විරුද්ධ නො වන පොරොන්දු වූ වේලාවක මධ්‍යස්ථ ස්ථානයක් අප අතර හා ඔබ අතර පත් කරනු.
59නුඹලාට පොරොන්දු වූ වේලාව සැණකෙළි දිනය වේ. තවද (එදින) ජනයා උදෑසන රැස් කරනු ලැබිය යුතුය යැයි (මූසා) පැවසී ය.
60එවිට ෆිර්අවුන් පසුපසට ගොස් ඔහුගේ කූට උපාය මාර්ග සැලසුම් කර පසුව පැමිණියේ ය.
61නුඹලාට විනාශය වේවා! අල්ලාහ්ට එරෙහිව නුඹලා බොරු නො ගොතනු. එවිට ඔහු නුඹලාව දඬුවමකින් විනාශ කරනු ඇත. තවද බොරු ගෙතූවන් සැබැවින් ම පරාජයට පත්ව ඇත යැයි මූසා ඔවුනට පැවසී ය.
62පසුව ඔවුන් අතර වූ ඔවුන්ගේ කරුණ සම්බන්ධයෙන් ඔවුන් එකිනෙකා මත ගැටුම් ඇති කර ගත්තෝ ය. තවද ඔවුහු රහස් සාකච්ඡා රහසින් කතා කළෝ ය.
63නියත වශයෙන් ම මොවුන් දෙදෙනා මායාකරුවන් දෙදෙනෙකු වෙති. ඔවුන් දෙදෙනාගේ මායාව මඟින් නුඹලාව නුඹලාගේ භූමියෙන් පිටුවහල් කිරීමටත් නුඹලාගේ ආදර්ශමත් මාර්ගයෙන් ඉවත් කිරීමටත් ඔවුන් දෙදෙනා අපේක්ෂා කරති යැයි ඔවුහු පැවසූහ.
64එහෙයින් නුඹලාගේ කුමන්ත්‍රණ නුඹලා එක්ලැස් කරනු. පසුව පෙළ ගැසී පැමිණෙනු. තවද අද දින (අනෙකා) අබිබවා යන්නා සැබැවින් ම ජය ලබනු ඇත.
65අහෝ මූසා! (පළමුව) ඔබ (සතු දෑ බිම) හෙළනු. එසේ නැතහොත් හෙළන්නන්ගෙන් මුල් අය අප වන්න දැ? යි ඔවුහු පැවසුවෝ ය.
66‘එසේ නම් නුඹලා හෙළනු’ යැයි ඔහු (මූසා) පැවසුවේ ය. එවිට ඔවුන්ගේ මායාව හේතුවෙන් ඔවුන් සතු ලණු හා සැරයටිය (සර්පයන් සේ) උරගා යන්නාක් මෙන් දිස් විය.
67එවිට එය මූසාට, ඔහුගේ සිත තුළ බියක් ඇති කරන්නට විය.
68නුඹ බිය නො වනු. නියත වශයෙන් ම අබිබවා යනුයේ නුඹ ම යැයි අපි පැවසුවෙමු.
69තවද නුඹේ දකුණතෙහි ඇති දෑ නුඹ හෙළනු. ඔවුන් සිදු කළ දෑ එය ගිලනු ඇත. එසේ ඔවුන් සිදු කළේ මායාකරුවන්ගේ කුමන්ත්‍රණයයි. මායාකරු කවර අයුරින් පැමිණිය ද ජය නො ලබනු ඇත.
70එවිට මායාකරුවෝ සිරස බිම තබමින් වැටී ‘අපි හාරූන්ගේ හා මූසාගේ පරමාධිපතිව විශ්වාස කළෙමු’ යැයි පැවසූහ.
71මම නුඹලාට අවසර දීමට පෙර නුඹලා ඔහුව විශ්වාස කළෙහු ද? නියත වශයෙන් නුඹලාට මායාව ඉගැන් වූ ඔහු නුඹලාගේ ප්‍රධානියා වී ඇත. එහෙයින් මම නුඹලාගේ අත් හා නුඹලාගේ පාද මාරුවෙන් මාරුව කපා දමමි. තවද ඉඳි කඳෙහි නුඹලා බැඳ දමමි. තවද අප අතරින් දඬුවම් දීමෙහි වඩාත් ප්‍රබල හා වඩාත් ස්ථායී කවරෙකු දැ? යි නුඹලා දැන ගනු ඇත යැයි ඔහු (ෆිර්අව්න්) පැවැසුවේ ය.
72අප වෙත පැමිණි පැහැදිලි සාධක හා අප මැවූ අයට වඩා ඉහළින් අපි නුඹ කිසිවටෙක තෝරා නො ගන්නෙමු. එහෙයින් නුඹ තීන්දු කරන දෑ තීන්දු කරනු. නුඹ තීන්දු කරනුයේ මෙලොව ජීවිතය පිළිබඳ පමණය යැයි ඔවුහු (ෆිර්අව්න් අමතා) පැවැසූහ.
73නියත වශයෙන් ම අපි අපගේ පරමාධිපති විශ්වාස කළෙමු. අපගේ වැරදිවලටත් නුඹ කවර මායාවක් කරන්නට අපට බල කළේද එයටත් ඔහු අපට සමාව දෙනු ඇත. තවද අල්ලාහ් අතිශ්‍රේෂ්ඨ ය. වඩාත් ස්ථායී ය.
74නියත වශයෙන් ම කරුණ නම්, කවරෙකු තම පරමාධිපති වෙත වැරදිකරුවකු ලෙසින් පැමිණෙන්නේ ද එවිට නියත වශයෙන් ම ඔහුට නිරය සතු වේ. ඔහු එහි මිය යන්නේ නැත. ජීවත් වන්නේ ද නැත.
75කවරෙකු දේවත්වය විශ්වාස කරන්නෙකු ලෙසින් යහකම් සිදු කොට ඔහු වෙත පැමිණෙන්නේ ද එවැන්නන් වනාහි, ඔවුනට උසස් තරාතිරම් ඇත්තෝ වෙති.
76යටින් ගංගා ගලා බස්නා සදාතනික උයන් ඇත. ඔවුන් එහි සදාතනිකයින් ය. එය පිවිතුරු කර ගත්තවුන්ගේ ප්‍රතිඵලයයි.
77තවද නුඹ මාගේ ගැත්තන් සමඟ රාත්‍රියෙහි පිටත්ව යනු. තවද මුහුදෙහි (ජලයෙන් තොර) වියළි මාවතක් ඔවුනට පෙන්වනු. සතුරු ප්‍රහාරයට බිය නො වනු. තවද නුඹ (දියෙහි ගිලීම ගැනද) බිය නො වනු යැයි සැබැවින් ම අපි මූසා වෙත දේව පණිවිඩ එව්වෙමු.
78එවිට ෆිර්අව්න් ඔහුගේ සේනාව සමඟ ඔවුන්ව ලුහු බැන්දේ ය. මුහුදෙහි ඔවුන් ආවරණය කළ යුතු දෑ ඔවුන්ව වසා ගත්තේ ය.
79තවද ෆිර්අව්න් තම සමූහයා නොමග හැරියේ ය. තවද ඔහු මග පෙන්වූයේ ද නැත.
80අහෝ ඉස්රාඊල් දරුවනි! නුඹලාගේ සතුරන්ගෙන් අපි නුඹලාව මුදවා ගත්තෙමු. තවද දකුණු තූර් කන්ද දෙසින් අපි නුඹලාට ප්‍රතිඥා දුනිමු. තවද නුඹලා වෙත මන්නු හා සල්වා (ආහාර වශයෙන්) පහළ කළෙමු.
81අපි නුඹලාට පෝෂණය කළ දෑහි පිවිතුරු දැයින් නුඹලා අනුභව කරනු. තවද එහි නුඹලා සීමාව ඉක්මවා නො යනු. එසේ කළහොත් මාගේ කෝපය නුඹලා වෙත පහළ වනු ඇත. තවද කවරෙකු වෙත මාගේ කෝපය පහළ වන්නේ ද සැබැවින් ම ඔහු විනාශ වනු ඇත.
82තවද පසුතැවිලි වී විශ්වාස කොට දැහැමි දෑ සිදු කොට පසුව යහ මග යොමු වූවන්හට සැබැවින් ම මම අතික්ෂමාශීලී වෙමි.
83තවද අහෝ මූසා! නුඹගේ ජනයාගෙන් වෙන්වී (තනිව පැමිණී) මට නුඹව ඉක්මන් කෙරෙව්වේ කුමක් ද?
84ඔවුහු මාගේ පියවර මත වෙති. මාගේ පරමාධිපතියාණනි! ඔබ තෘප්තියට පත් වනු පිණිස ඔබ වෙත මම ඉක්මන් වූයෙමි යැයි ඔහු පැවසී ය.
85සැබැවින් ම නුඹගෙන් පසු නුඹගේ සමූහයා අපි පරීක්ෂණයට ලක් කර ඇත. තවද සාමිරී ඔවුන්ව නොමග හරවා ඇතැයි ඔහු (අල්ලාහ්) පැවසී ය.
86එවිගස මූසා තම සමූහයා වෙත කෝපයෙන් යුතුව කනස්සල්ලෙන් නැවත හැරී ආවේ ය. අහෝ මාගේ ජනයිනි! නුඹලාට අලංකාර ප්‍රතිඥාවක් නුඹලාගේ පරමාධිපති නුඹලාට ප්‍රතිඥා නො කළේ ද? එම ප්‍රතිඥාව නුඹලා වෙත දීර්ඝ වී ද? එසේ නැතහොත් නුඹලාගේ පරමාධිපතිගෙන් වූ කෝපය නුඹලා වෙත පහළ වීමට නුඹලා අභිමත කොට නුඹලා මාගේ ප්‍රතිඥාවට විරුද්ධව කටයුතු කළෙහු ද?
87අපගේ කැමැත්තෙන් නුඹගේ ප්‍රතිඥාවට අපි විරුද්ධ නො වූයෙමු. එනමුත් ජනයාගේ අලංකාරයෙන් පිරුණු (ආභරණ) බර අප මත පට වන ලදි. එහෙයින් අපි ඒවා (ගින්නට) දැමුවෙමු. එසේ ම සාමිරී ද දැමුවේය යැයි ඔවුහු පැවසුවෝ ය.
88පසුව හඬක් සහිත වසුපැටවකුගේ ශරීරයක් ඔවුන් වෙනුවෙන් ඔහු මතු කළේ ය. එවිට ඔවුහු මෙය නුඹලාගේ දෙවියා ය. මූසාගේ ද දෙවියා ය. එහෙත් ඔහුට (එය) අමතක වී ඇතැයි ඔවුහු පැවසූහ.
89ඔවුන් වෙත කිසිදු ප්‍රතිචාරයක් එය නො දක්වන බවද ඔවුනට කිසිදු නපුරක් හෝ ප්‍රයෝජනයක් කිරීමට එයට බලය නොමැති බවද ඔවුහු නො දුටුවෝ ද?
90තවද මීට පෙර හාරූන් මාගේ ජනයිනි! මෙමඟින් නුඹලා අර්බුදයකට පත්ව ඇත. තවද නියත වශයෙන් ම නුඹලාගේ පරමාධිපති මහා කාරුණික ය. එහෙයින් නුඹලා මා අනුගමනය කරනු. තවද මාගේ අණට කීකරු වනු යැයි ඔවුනට පැවසී ය.
91මූසා අප වෙත නැවත පැමිණෙන තෙක් ඒ මත රැඳී සිටීමෙන් කිසිවිටෙක අපි ඉවත් නො වන්නෙමු යැයි ඔවුහු පැවසූහ.
92(මූසා,හාරූන් අමතා) අහෝ හාරූන්! ඔවුන් නොමග ගිය බව නුඹ දුටු විට (ඔවුන්ව නිවරැදි කිරීමට) නුඹව වැළැක්වූයේ කුමක් දැ? යි විමසී ය.
93නුඹ මා අනුගමනය නො කරන්නෙහි ද? නුඹ මාගේ අණට පිටුපෑවෙහි ද?
94අහෝ මාගේ මවගේ පුතණුවනි! මාගේ රැවුලෙන් හා මාගේ හිසින් නුඹ නො අල්ලනු. ‘නුඹ ඉස්රාඊල් දරුවන් අතර භේද ඇති කළෙහි ය. නුඹ මාගේ වචනය (පැමිණෙන තෙක්) බලා පොරොත්තු නො වූයෙහිය යැයි නුඹ පැවසීම ගැන සැබැවින් ම මම බිය වූයෙමි.
95අහෝ සාමිරී! එසේ නම් නුඹේ දෙසුම කුමක් දැ? යි ඔහු (මූසා) විමසී ය.
96ඔවුන් කවර කරුණක් නො දුටුවේ ද එවැන්නක් මම දුටුවෙමි. එවිට මා රසූල්වරයාගේ පා සලකුණින් (වැලි) අහුරක් අහුරා ගෙන පසුව එය මා (ඒ මත) විසි කළෙමි. එලෙසය මා වෙත මාගේ සිත අලංකාරවත් කළේ යැයි ඔහු (සාමිරි මූසාට) පැවසී ය.
97"එහෙයින් නුඹ පිටත්ව යනු. මට ළං නො වනු යැයි පැවසීම නුඹට මෙලොව ජීවිතයේ හිමි වනු ඇත. තවද කිසිවිටක වෙනස් කළ නොහැකි ප්‍රතිඥාවක් ද නුඹ සතු වනු ඇත. නුඹ කවර දෙයක් මත (නැමදුම් කරමින්) රැඳී සිටියේ ද එවන් නුඹගේ දෙවියන් දෙස බලනු. අපි එය පුලුස්සා දමා පසුව මුහුදෙහි සුළඟට පාවෙන්නට හරින්නෙමු යැයි ඔහු පැවසී ය.
98නුඹලාගේ දෙවියා අල්ලාහ් ය. ඔහු වනාහි ඔහු හැර වෙනත් දෙවියකු නොමැත. සියලු දෑ පිළිබඳ දැනුමෙන් ඔහු ව්‍යාප්ත විය.
99(මුහම්මද්) සැබැවින් ම ඉකුත් වී ගිය දෑහි තොරතුරු අපි නුඹ වෙත පවසනුයේ මෙලෙස ය. තවද අප වෙතින් වූ මෙනෙහි කිරීමක් නුඹ වෙත අපි සැබැවින් ම පිරිනමා ඇත්තෙමු.
100කවරෙකු එය පිටුපාන්නේ ද එවිට නියත වශයෙන් ම ඔහු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දී (මහත් වූ) පාපයක් උසුලනු ඇත.
101එහි ඔවුහු සදාතනිකයින් වෙති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින (එම බර) ඉසිලීම ඔවුනට නපුරු විය.
102එදින සූර් නම් හොරණෑවෙහි පිඹිනු ලබනු ඇත. තවද නිල් පැහැ ගැන් වූ (අන්ධ) ඇස් සහිතව වැරදිකරුවන් එදින අපි රැස් කරන්නෙමු.
103(එදින) නුඹලා දින දහයක් හැර රැඳී නො සිටියෙහු යැයි ඔවුන් එකිනෙකා අතර කොඳුරති.
104නුඹලා එක් දිනක් හැර මෙලොවෙහි රැඳී නො සිටියෙහු යැයි ඔවුන්ගෙන් මාර්ගයෙන් වඩාත් දැනුමැත්තෙක් පවසන අවස්ථාවේ ඔවුන් පවසන දෑ පිළිබඳ අපි මැනවින් දන්නෝ වෙමු.
105තවද කඳු පිළිබඳ ඔවුහු නුඹගෙන් විමසති. මාගේ පරමාධිපති එය සුනු විසුනු කොට සුළඟේ පා වී යන්නට ඉඩ හරියි යැයි (නබිවරය නුඹ) පවසනු.
106පසුව විහිඳුණු සමතලා භූමියක් ලෙස ඔහු එය අතහැර දමයි.
107කිසිදු ඇදයක් හෝ නැම්මක් හෝ නුඹ එහි නො දකිනු ඇත.
108එදින ඔවුහු නිවේදකයාව අනුගමනය කරති. (එහි) ඔහුට කිසිදු අඩුවක් නො වේ. සියලු හඬ මහා කරුණාන්විතයාණන් ඉදිරියේ පහත් වෙයි. එවිට පාද ශබ්දය හැර (වෙනත් කිසිවකට) නුඹ සවන් නො දෙනු ඇත.
109මහා කරුණාන්විතයාණන් කවරෙකුට අනුමැතිය දී කතා කිරීම සඳහා ඔහුව පිළිගත්තේ ද එවැන්නෙකුට හැර එදින මැදිහත් වීම ප්‍රයෝජනවත් නො වනු ඇත.
110ඔවුන් අතර ඇති දෑ ද ඔවුනට පසුපසින් ඇති දෑ ද ඔහු දනී. එහෙත් ඔවුහු ඔහු පිළිබඳ දැනුමෙන් සර්ව ප්‍රකාරයෙන් වටහා නො ගනිති.
111තවද සදා ජීවමාන සදාකාලික වූ (අල්ලාහ්) වෙනුවෙන් (සියල්ලන්ගේ) මුහුණු යටහත් විය. තවද අපරාධකම් ඉසිලූ අය පරාජිත විය.
112කවරෙකු දේවත්වය විශ්වාස කරන්නෙකුව සිට යහකම් අතරින් දැහැමි දෑ කරන්නේ ද එවිට කිසිදු අපරාධයකට හෝ කිසිදු අඩුවකට හෝ ඔහු බිය නො වනු ඇත.
113තවද එලෙස ම අපි (ධර්ම ග්‍රන්ථය වූ) මෙම කුර්ආනය අරාබි බසින් පහළ කළෙමු. තවද ඔවුන් බිය බැතිමත් විය හැකි වනු පිණිස හෝ ඔවුනට මෙනෙහි කිරීමක් සිදු කළ හැකි වනු පිණිස එහි අපි විවිධ අවවාද විස්තර කර ඇත්තෙමු.
114සැබෑ රජතෙම වූ අල්ලාහ් උත්තරීතර විය. නුඹ වෙත ඔහුගේ දේව පණිවිඩ අවසන් කරනු ලබන්නට පෙර කුර්ආනය සම්බන්ධයෙන් නුඹ ඉක්මන් නො වනු. මාගේ පරමාධිපතියාණනි! මට දැනුම වර්ධනය කරනු මැනව! යි නුඹ පවසනු.
115තවද මීට පෙර ද අපි ආදම් වෙත ප්‍රතිඥාවක් ගත්තෙමු. නමුත් ඔහු අමතක කළේ ය. තවද අපි ඔහු වෙත ස්ථාවරත්වයක් නො දුටුවෙමු.
116තවද ආදම්ට සුජූද් (ආචාර) කරනු යැයි අප පැවසූ අවස්ථාව සිහිපත් කරනු. එවිට ඉබ්ලීස් හැර (සෙසු සියලු දෙනා ආචාර) සුජූද් කළෝ ය. එහෙත් ඔහු පිටුපෑවේ ය.
117එවිට අහෝ ආදම්! නියත වශයෙන් ම මොහු නුඹගේ හා නුඹගේ සහකාරියගේ සතුරා ය. එහෙයින් නුඹලා දෙදෙනාව ඔහු මෙම (ස්වර්ග) උයනින් පිටුවහල් නො කළ යුතු ය. එවිට නුඹ අභාග්‍යවන්ත වනු ඇත යැයි අපි පැවසුවෙමු.
118නියත වශයෙන් ම නුඹ එහි කුසගින්නෙන් නො සිටින අතර තවද නිරුවතින් ද නො සිටිනු ඇත.
119තවද නියත වශයෙන් ම එහි නුඹ පිපාසිත නො සිටින අතර හිරු රශ්මියෙන් නො පෙළෙනු ද ඇත.
120ෂෙයිතාන් ඔහු වෙත කුතුහලය ඇති කළේ ය. අහෝ ආදම්! සදා ජීවත් කර වන ගසක් හා විනාශ වී නො යන රාජධානියක් පිළිබඳව මම නුඹට දන්වන්නෙමි දැ? යි විමසී ය.
121එවිට ඔවුන් දෙදෙනා එයින් අනුභව කළෝ ය. එවිට ඔවුන් දෙදෙනාගේ රහස්‍ය පෙදෙස් ඔවුන් දෙදෙනාට හෙළිවිය. (ස්වර්ග) උයනේ කොළවලින් ඔවුන් දෙදෙනාව ආවරණය කරගන්නට පටන් ගත්තෝ ය. තවද ආදම් තම පරමාධිපතිට පිටුපෑවේ ය. එහෙයින් ඔහු නොමග ගියේ ය.
122පසුව ඔහුගේ පරමාධිපති ඔහුව තෝරා ගත්තේ ය. එවිට ඔහු (පශ්චාත්තාපය පිළිගෙන) සමාව දුන්නේ ය. තවද මග පෙන්වී ය.
123නුඹලා දෙදෙනා ම පහළට බසිනු. නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකුට සතුරු ය. මගෙන් නුඹලා වෙත යහ මග පැමිණෙනු ඇත. එහෙයින් කවරෙකු මාගේ යහ මග පිළිපදින්නේ ද එවිට ඔහු නොමග නො යනු ඇත. තවද අභාග්‍යවන්ත නො වනු ඇත.
124තවද මා මෙනෙහි කිරීමට කවරෙකු පිටුපෑවේ ද එවිට නියත වශයෙන් ම ඔහුට පීඩිත ජීවිතයක් ඇත. තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අන්ධයකු ලෙස අපි ඔහුව නැවත නැගිටුවන්නෙමු.
125මාගේ පරමාධිපතියාණනි! අන්ධයකු ලෙස ඔබ මා අවදි කළේ මන්ද? මම බැල්මැත්තෙකු ලෙස සිටියෙමි යැයි ඔහු පවසයි.
126එලෙසය, අපගේ වදන් නුඹ වෙත පැමිණියේ. එවිට නුඹ එය අමතක කළෙහි ය. එලෙස ම අද දින නුඹව අමතක කරනු ලබනු ඇතැයි ඔහු (අල්ලාහ්) පවසයි.
127තවද තම පරමාධිපතිගේ වදන් විශ්වාස නො කොට සීමාව ඉක්මවා ගියවුන්හට අපි ප්‍රතිඵල පිරිනමනුයේ මෙලෙස ය. තවද මතුලොව දඬුවම ඉතා දරුණු ය. තවද වඩාත් ස්ථායී ය.
128ඔවුනට ඔහු මග පෙන්වීම් නො කළේ ද? ඔවුනට පෙර තම වාසස්ථානවල ගමන් කරමින් සිටි පරම්පරාවන් කොපමණක් අපි විනාශ කළෙමු ද? නියත වශයෙන් ම එහි බුද්ධිය ඇත්තවුනට සංඥාවන් ඇත.
129නුඹගේ පරමාධිපතිගෙන් වූ නියමයක් හා නියමිත කාලයක් පෙරටු නො වූයේ නම් එය (විනාශය එකහෙළා) අනිවාර්යය වන්නට තිබුණි.
130එහෙයින් ඔවුන් පවසන දෑ කෙරෙහි නුඹ ඉවසා දරා ගනු. තවද නුඹ තෘප්තියට පත් විය හැකි වනු පිණිස නුඹගේ පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් හිරු උදා වීමට පෙර, එය අවරට යාමට පෙර හා රාත්‍රී කාලයේ ද සුවිශුද්ධ කරනු. තවද දහවල් කෙළවරවල්හි ද සුවිශුද්ධ කරනු.
131තවද අපි ඔවුන් එහි පරීක්ෂා කරනු පිණිස මෙලොව ජීවිතයේ චමත්කාරයක් ලෙස ඔවුන් අතරින් පිරිසකට කවර දෙයක් අපි භුක්ති විඳීම සඳහා ලබා දුන්නේ ද ඒ වෙත නුඹගේ නෙත් යොමු නො කරනු. තවද නුඹගේ පරමාධිපතිගේ පෝෂණය ශ්‍රේෂ්ඨ ය. තවද වඩාත් ස්ථායී ය.
132තවද සලාතය පිළිබඳ නුඹගේ පවුලට නුඹ අණ කරනු. තවද (එහි ඇති වන දුෂ්කරතා) ඉවසීමෙන් දරා ගනු. අපි නුඹගෙන් පෝෂණය නො ඉල්ලුවෙමු. නුඹට පෝෂණය සපයනුයේ අපම ය. තවද අවසාන තීන්දුව බිය බැතිමත්භාවයට ය.
133තවද ඔහුගේ පරමාධිපතිගෙන් සංඥාවක් ඔහු අප වෙත ගෙනැවිත් තිබිය යුතු නො වේ ද? යැයි ඔවුහු විමසති. (අල්ලාහ් විසින් පහළ කළ) මුල් ලේඛනයන්හි ඇති දෑහි පැහැදිළි සංඥාවක් ඔවුන් වෙත නො පැමිණියේ ද?
134තවද මීට පෙර යම් දඬුවමකින් සැබැවින් ම අපි ඔවුන් විනාශ කළෙමු නම්, අපගේ පරමාධිපතියාණනි! අප වෙත ධර්ම දූතයකු ඔබ එවිය යුතු නො වේ ද? එවිට අප අවමානයට හා අපකීර්තියට පත් වීමට පෙර නුඹගේ වදන් පිළිපදින්නට තිබුණි යැයි ඔවුහු පවසනු ඇත.
135සියලු දෙනා බලාපොරොත්තු වන්නන් ය. එහෙයින් නුඹලාත් බලාපොරොත්තුවෙන් සිටිනු. එවිට ඍජු මාර්ගයේ සගයින් කවුරුන් දැ? යි ද යහ මග ගියවුන් කවුරුන් දැ? යි ද නුඹලා මතු දැන ගනු ඇතැයි (නබිවරය!) නුඹ පවසනු.