مريم
Mary • 98 ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ
1කාෆ්, හා, යා, අයින්, සාද්.[1]
2(මෙය) තම ගැත්තා සකරිය්යා වෙත නුඹගේ පරමාධිපති දැක් වූ කරුණාව පිළිබඳ සිහිපත් කිරීමකි.
3ඔහු තම පරමාධිපතිව සිහින් ඇමතුමකින් ඇමතූ අවස්ථාව සිහිපත් කරනු.
4මාගේ පරමාධිපතියාණනි! මාගේ අස්ථි දුර්වල වී ඇත. මාගේ හිසකෙස් පැහී විහිදී ඇත. තවද මාගේ පරමාධිපතියාණනි! මම ඔබගේ ප්‍රාර්ථනාව සම්බන්ධයෙන් අභාග්‍යවන්තයකු නො වූයෙමි.
5තවද මගෙන් පසුව පරම්පරා උරුමක්කරුවන් පිළිබඳව මම බිය වෙමි. මාගේ බිරිය ද වඳ කාන්තාවකි. එහෙයින් නුඹ වෙතින් උරුමක්කරුවකු මා වෙත පිරිනමනු.
6මට උරුමකම්පාන එමෙන් ම යඃකූබ්ගේ පරපුරට උරුමකම්පාන කෙනෙකු පිරිනමනු මැනව! තවද මාගේ පරමාධිපතියාණනි! ඔහුව පිළිගැනීමට ලක් වූ කෙනකු බවට පත් කරනු මැනව.
7අහෝ සකරිය්යා! යහ්යා නමින් වූ දරුවකු පිළිබඳව නියත වශයෙන් ම අපි ඔබට ශුභාරංචි දන්වන්නෙමු. මීට පෙර මේ නමින් කිසිවකුට නම් නො තැබුවෙමු.
8මාගේ පරමාධිපතියාණනි! මට දරුවකු කෙසේ නම් වන්නේ ද? මාගේ බිරිය වඳ කාන්තාවක් වූවා ය. මා ද මහලුවියේ අවසානයට ළඟා වී ඇත්තෙමි යැයි ඔහු පැවසුවේ ය.
9(එය) එලෙසය යැයි ඔහු කී ය. එය මා වෙත පහසු කාර්යයකි. මීට පෙර නුඹ කිසිවක්ව නො සිටිය දී සැබැවින් ම මම නුඹව මැව්වෙමි යැයි ඔබේ පරමාධිපති කීවේ ය.
10පරමාධිපතියාණනි! මට සලකුණක් ඇති කරනු මැනව! යැයි ඔහු පැවසී ය. ඔබේ සංඥාව වනුයේ නුඹ නිරෝගීව සිටිය දී රාත්‍රී තුනක් ජනයා සමඟ කතා නො කිරීමය යැයි ඔහු පැවසුවේ ය.
11පසුව ඔහු තම සමූහයා වෙත නැමදුම් ස්ථානයෙන් බැහැරට පැමිණියේ ය. එවිට ‘නුඹලා උදේ හා සවස සුවිශුද්ධ කරනු’යි ඔහු ඔවුනට ඇඟවිය.
12අහෝ යහ්යා! ධර්ම ග්‍රන්ථය බලවත් ලෙස (ග්‍රහණය කර) ගනු. තවද අපි ඔහුට ළමා කාලයේම ප්‍රඥාව පිරිනැමුවෙමු.
13තවද අප වෙතින් වූ ආදරය හා පිවිතුරු බව ද (ඔහුට පිරිනැමුවෙමු.) තවද ඔහු බිය බැතිමත් කෙනෙකු විය.
14තවද ඔහු තම දෙමාපියන්ට ඇප උපස්ථාන කරන්නකු විය. තවද ඔහු දඬබ්බර අකීකරු වන්තයෙකු නො වීය.
15තවද ඔහු උපත ලැබූ දින ද ඔහු මිය යන දින ද ඔහු නැවත ජීවමානව නැගිටුවනු ලබන දින ද ඔහු වෙත සාමය ඇති වේවා!
16තවද මෙම ධර්ම ග්‍රන්ථයේ මර්යම් ගැන ඇය තම පවුලෙන් වෙන්ව නැගෙනහිර ස්ථානයකට ගිය අවස්ථාව (නබිවරය!) නුඹ සිහිපත් කරනු.
17එවිට ඇය ඔවුන්ගෙන් වෙන්ව තිරයක් ගත්තා ය. එවිට අපි ඇය වෙත අපගේ ප්‍රාණය (හෙවත් ජිබ්රීල් මලක්වරයා) එව්වෙමු. එවිට ඔහු පූර්ණ මිනිසෙකු වෙසින් ඇය වෙත පෙනී සිටියේ ය.
18නියත වශයෙන් ම නුඹගෙන් ආරක්ෂාව මහා කාරුණිකයාණන්ගෙන් මම පතමි. නුඹ බිය බැතිමත් කෙනෙකු වී නම් (මා වෙත ළං නො වනු) යැයි ඇය පැවසුවා ය.
19‘නියත වශයෙන් ම මම නුඹට පිවිතුරු දරුවකු පිරිනමනු පිණිස නුඹගේ පරමාධිපතිගේ දූතයෙකු වෙමි’ යැයි ඔහු පැවසුවේ ය.
20‘කිසිදු මිනිසකු මා ස්පර්ශ කර නො තිබිය දී මට දරුවකු වනුයේ කෙසේ ද? තවද මම අපචාරී (කාන්තාවක්) නො වූයෙමි’ යැයි ඇය පැවසුවා ය.
21එය එලෙසය යැයි ඔහු පැවසුවේ ය. ‘එය මා වෙත පහසු කාර්යයකි. එය ජනයාට අපගෙන් වූ සංඥාවක් හා ආශිර්වාදයක් බවට පත් කරනු පිණිස ය. එය තීන්දු කරනු ලැබූ නියෝගයක් ද විය’ යැයි නුඹගේ පරමාධිපති පැවසුවේ ය.
22එවිට ඇය ඔහු ගැබ් ගත්තා ය. ඇය ඔහු දරමින් දුර ස්ථානයකට වෙන්ව ගියා ය.
23විලිරුදාව ඇයව ඉඳි කඳක් වෙත ගෙන ආවේ ය. අහෝ! මීට පෙර මා මිය යා යුතු නො වේ ද? තවද මුළුමනින් ම අමතක වූ කෙනකු බවට පත් විය යුතු නො වේ දැ? යි පැවසුවා ය.
24‘නුඹ දුක් නො වනු සැබැවින් ම නුඹගේ පරමාධිපති නුඹට පහළින් උල්පතක් ඇති කළේය’ යැයි ඇයව පහළ දෙසින් ඔහු ඇමතී ය.
25ඉඳි ගසේ කඳ නුඹ දෙසට සොලවනු. නුඹ වෙත නෙලන ලද පැහුණු ගෙඩි වැටෙනු ඇත.
26එවිට නුඹ අනුභව කරනු. තවද පානය කරනු. ඇස් පිනවා ගනු. තවද නුඹ මිනිසුන් අතරින් කිසිවකු හෝ දුටුවෙහි නම් එවිට සැබැවින් ම (කතාවෙන් වැළකී සිටින) උපවාසයක් මම මහා කරුණාවන්තයාණන්හට භාර වූයෙමි. එහෙයින් අද දින කිසිදු මිනිසෙකු සමඟ සැබැවින් ම මම කතා නො කරන්නෙමි යැයි පවසනු.
27ඔහුව උසුලා ගෙන ඔහු සමඟ ම ඇයගේ සමූහය වෙත ඇය පැමිණියා ය. ‘අහෝ මර්යම්! සැබැවින් ම නුඹ බරපතළ කරුණක් ගෙනැවිත් ඇතැ’යි ඔවුහු පැවසුවෝ ය.
28අහෝ හාරූන්ගේ සහෝදරිය! නුඹේ පියා නරක පුද්ගලයකු නො වීය. එමෙන් ම නුඹේ මව ද අපචාරී (කාන්තාවක්) නො වීය.
29එවිට ඇය ඔහු දෙසට (ඔවුන් කතා කිරීම සඳහා) ඉඟි කළා ය. ‘බිළිඳු වියේ තොටිල්ලෙහි පසු වන අය සමඟ අපි කෙසේ කතා කරන්නෙමි දැ? යි ඔවුහු පැවසුවෝ ය.
30නියත වශයෙන් ම මම අල්ලාහ්ගේ ගැත්තෙකු වෙමි. ඔහු මා වෙත දේව ග්‍රන්ථය පිරිනමා ඇත. තවද මා නබිවරයකු බවට පත් කළේය යැයි ඔහු පැවසුවේ ය.
31මා කොතැනක සිටිය ද ඔහු මට සමෘද්ධිය ඇති කළේ ය. තවද මා ජීවමානව සිටින තාක්කල් සලාතය හා zසකාතය (ඉටු කිරීම) පිළිබඳ මට උපදෙස් දුන්නේ ය.
32තවද මාගේ මවට ඇප උපස්ථාන කිරීමට ද (උපදෙස් දුන්නේ ය.) තවද ඔහු මා අභාග්‍යවන්ත දරුණු පාලකයකු ලෙස මා පත් නො කළේ ය.
33තවද මම උපත ලැබූ දිනයෙහි ද මම මරණයට පත් වන දිනයෙහි ද නැවත මා නැගිටුවනු ලබන දිනයෙහි ද මා වෙත සාමය වේවා!
34එය මර්යම්ගේ පුත් ඊසා(ගේ ප්‍රකාශය) වේ. සත්‍ය ප්‍රකාශය වන එහි ඔවුහු සැක කරති.
35දරුවකු තබා ගැනීම අල්ලාහ්ට (සුදුසු) නො වීය. ඔහු සුවිශුද්ධ ය. ඔහු යම් කරුණක් තීන්දු කළ විට එයට ඔහු කුන් (වනු) යැයි පවසනවා පමණ ය. එය සිදු වනු ඇත.
36තවද නියත වශයෙන් ම අල්ලාහ් මාගේ පරමාධිපති ය. නුඹලාගේ ද පරමාධිපති ය. එහෙයින් නුඹලා ඔහුට නැමදුම් කරනු. මෙය ඍජු මාර්ගයයි.
37එවිට ඔවුන් අතර වූ (විවිධ) කණ්ඩායම් මත ගැටුම් ඇති කර ගත්තෝ ය. අතිමහත් දින දර්ශනය වන ස්ථානයේ ප්‍රතික්ෂේප කළවුනට විනාශය වේවා!
38ඔවුන් අප වෙත පැමිණෙන දින ඔවුන්ගේ ශ්‍රවණය කෙතරම් පුදුම සහගතද! තවද (ඔවුන්ගේ) බැල්ම කෙතරම් පුදුම සහගතද! එහෙත් අද දින අපරාධකරුවෝ පැහැදිලි මුළාවෙහි වෙති.
39ඔවුහු විශ්වාස නො කරමින් හා ඔවුන් නො සැලකිලිමත් ලෙස සිටිය දී එම අණ තීන්දු කරනු ලබන විට පසුතැවිල්ලට පත් වන දිනය ගැන ඔවුනට නුඹ අවවාද කරනු.
40නියත වශයෙන් ම අපි මහපොළොව හා ඒ මත සිටිනවුන් උරුම කර ගන්නෙමු. තවද ඔවුන් නැවත යොමු කරනු ලබනුයේ ද අප වෙත ම ය.
41ධර්ම ග්‍රන්ථයේ ඉබ්රාහීම්ව මෙනෙහි කරනු. නියත වශයෙන් ම ඔහු සත්‍යවාදී නබිවරයකු විය.
42මාගේ පියාණනි! සවන් නො දෙන තවද නො බලන එමෙන් ම ඔබට කිසිදු පලක් නො දෙන දෑට ඔබ නමදිනුයේ ඇයි දැ? යි ඉබ්රාහීම් තම පියාගෙන් විමසූ අවස්ථාව සිහිපත් කරනු.
43මාගේ පියාණනි! ඔබ වෙත නොපැමිණි ඥානය මා වෙත සැබැවින් ම පැමිණ ඇත. එහෙයින් ඔබ මා අනුගමනය කරනු මැනව. ඍජු මාර්ගය වෙත මම ඔබට මග පෙන්වමි.
44අහෝ මාගේ පියාණනි! ෂෛයිතාන්ට ගැතිකම් නො කරනු. නියත වශයෙන් ම ෂෛයිතාන් මහා කරුණාන්විතයාණන්ට පිටුපාන්නෙකු විය.
45අහෝ මාගේ පියාණනි! ඔබට මහා කරුණාන්විතයාණන්ගෙන් වූ දඬුවමක් ස්පර්ශ වීම ගැන නියත වශයෙන් ම මම බිය වෙමි. එවිට ඔබ ෂෛයිතාන්ට උදව්කරුවකු වන්නෙහි ය.
46නුඹ මාගේ දෙවියන් පිළිකුල් කරන්නෙකු ද? අහෝ ඉබ්රාහීම්! නුඹ මෙයින් නො වැළකුණෙහි නම් මම නුඹට ගල් ගසා මරමි. තවද නුඹ මාගෙන් සදහට ම ඈත්ව සිටිනු යැයි ඔහු පැවසී ය.
47ඔබට ශාන්තිය අත්වේවා! මම මාගේ පරමාධිපතිගෙන් ඔබ වෙනුවෙන් මතු පාප ක්ෂමාව අයැදිමි. නියත වශයෙන් ම ඔහු මාහට කරුණාවන්ත විය යැයි ඔහු (ඉබ්රාහීම්) පැවසී ය.
48තවද මම නුඹලාගෙන් ද අල්ලාහ් හැර දමා නුඹලා අයැදින දැයින් ද ඉවත් වන්නෙමි. තවද මාගේ පරමාධිපතිගෙන් අයැද සිටිමි. මාගේ පරමාධිපති වෙත කෙරෙන ප්‍රාර්ථනාවෙන් මා දුර්භාග්‍යවන්තයකු ලෙස නො වන්නට පුළුවන.
49ඔවුන්ගෙන් හා අල්ලාහ් හැර දමා ඔවුන් නමදිමින් සිටි දැයින් ඉබ්රාහීම් ඉවත් වූ කල්හි, අපි ඔහුට ඉස්හාක් හා යඃකූබ්ව පිරිනැමුවෙමු. ඒ සෑම කෙනෙකුම නබිවරයකු ලෙස අපි පත් කළෙමු.
50තවද අපගේ ආශිර්වාදයෙන් අපි ඔවුනට පිරිනැමුවෙමු. තවද ඔවුනට උසස් ප්‍රශංසාව ද ඇති කළෙමු.
51තවද ධර්ම ග්‍රන්ථයේ මූසා ගැන ද නුඹ මෙනෙහි කරනු. නියත වශයෙන් ම ඔහු අවංක කෙනෙකු විය. තවද ධර්ම දූතයෙකු හා නබිවරයකු ද විය.
52තවද තූර් (කන්දේ) දකුණු දෙසින් අපි ඔහු ඇමතුවෙමු. තවද කතා කිරීම සඳහා අපි ඔහුව සමීප කළෙමු.
53තවද අපගේ ආශිර්වාදයෙන් අපි ඔහුට ඔහුගේ සහෝදර හාරූන්ව නබිවරයකු ලෙස පිරිනැමුවෙමු.
54ධර්ම ග්‍රන්ථයේ ඉස්මාඊල්ව ද මෙනෙහි කරනු. නියත වශයෙන් ම ඔහු ප්‍රතිඥාව සැබෑ ලෙස ඉටු කරන්නෙකු විය. තවද ඔහු ධර්ම දූතයෙකු හා නබිවරයකු විය.
55තවද ඔහු සලාතය හා zසකාතය පිළිබඳ ඔහුගේ පවුලේ අයට නියෝග කරන්නෙකු විය. තවද ඔහු ඔහුගේ පරමාධිපති අබියස පිළිගනු ලැබූ කෙනෙකු ද විය.
56තවද ධර්ම ග්‍රන්ථයේ ඉද්රීස් ගැන ද මෙනෙහි කරනු. නියත වශයෙන් ම ඔහු සත්‍යවාදී නබිවරයකු විය.
57තවද අපි උසස් ස්ථානයකට ඔහුව උසස් කළෙමු.
58ඔවුහු ආදම්ගේ පරපුරින් ද නූහ් සමඟ අපි ඉසිලූ අයගෙන් ද ඉබ්රාහීම්ගේ හා ඉස්රාඊල්ගේ පරපුරින් ද අපි යහමඟ පෙන්වා තෝරා ගත් අයගෙන් ද වූ නබිවරුන් අතරින් අල්ලාහ් කවරෙකු වෙත ආශිර්වාද කළේ ද එවැනි අය වෙති. ඔවුන් වෙත මහා කරුණාන්විතයාණන්ගේ වදන් පාරායනා කරනු ලබන විට අඬමින් සුජූද්හි වැටෙති.
59ඔවුනට පසුව පසුපරම්පරාවක් පැමිණියේ ය. ඔවුහු සලාතය පැහැර හැරියෝ ය. තවද ආශාවන් අනුගමනය කළෝ ය. එහෙයින් ඔවුහු නපුරු විපාකයට මතු මුහුණ දෙනු ඇත.
60එහෙත් පසුතැවිලි වී දේවත්වය විශ්වාස කොට යහකම් කළවුන් හැර. ඔවුහු වනාහි (ස්වර්ග) උයනට පිවිසෙන්නන් වෙති. තවද කිසිවකින් ඔවුහු අපරාධ කරනු නො ලබති.
61(ඒවා) මහා කරුණාන්විතයාණන් තම ගැත්තන්හට පොරොන්දු වූ අදෘශ්‍යමාන සදාතනික (ස්වර්ග) උයන් ය. නියත වශයෙන් ම ඔහුගේ පොරොන්දුව ගෙන එනු ලබන්නකි.
62තවද ඔවුහු සලාම් හෙවත් ශාන්තිය මිස කිසිදු නිෂ්ඵල දෙයකට එහි සවන් නො දෙති. තවද ඔවුන්ගේ පෝෂණය උදේ හා හවස ඔවුනට එහි ඇත.
63එය අපගේ ගැත්තන් අතරින් බිය බැතිමත් වූ අයට අපි උරුම කර දෙන (ස්වර්ග) උයනයි.
64තවද නුඹගේ පරමාධිපතිගේ නියෝගයෙන් මිස අපි පහළ නො වන්නෙමු. තවද අප ඉදිරියේ ඇති දෑ ද අපට පසුපසින් ඇති දෑ ද ඒ අතර ඇති දෑ ද ඔහු සතු ය. තවද නුඹගේ පරමාධිපති අමතක කරන්නෙකු නො වීය. (යැයි ජිබ්රීල් පැවසී ය.)
65(ඔහු) අහස් හා මහපොළොවේ ද ඒ දෙක අතර ඇති දෑහි ද හිමිපාණන් ය. එහෙයින් නුඹ ඔහුට නැමදුම් කරනු. තවද ඔහුට නැමදුම් කිරීම සඳහා නුඹ ඉවසනු. ඔහුට (සමානව) නම් කළ හැකි කෙනෙකු නුඹ දන්නෙහි ද?
66තවද මා මිය ගිය විට ජීවය ලබා මම මතු බැහැර කරනු ලබන්නෙමි දැ? යි මිනිසා විමසා සිටියි.
67මීට පෙර කිසිවක් ලෙස නො පැවති තත්ත්වයෙන් සැබැවින් ම අපි ඔහුව මැවූ බව මිනිසා මෙනෙහි කළ යුතු නො වේ ද?
68එහෙයින් නුඹගේ පරමාධිපති මත දිවුරමින් සැබැවින් ම අපි ඔවුන් හා ෂෙයිතානුන්ව නැවත රැස් කරන්නෙමු. පසුව නිරය වටා ඔවුන් දණ ගස්වා ගෙන එන්නෙමු.
69පසුව සෑම කණ්ඩායමකින් ම කවරෙකු මහා කරුණාන්විතයාණන්ට එරෙහිව දැඩි ලෙස පිටුපෑවේ ද ඔවුන්ව අපි වෙන් කරන්නෙමු.
70එහි පිවිස දැවීමට වඩාත් සුදුස්සන් වූ අය පිළිබඳව අපි මැනවින් දනිමු.
71තවද නුඹලා අතරින් එය තරණය නො කරන කිසිවකු නැත. එය නුඹගේ පරමාධිපති වෙතින් නියම වූ තීන්දුවක් විය.
72පසුව අපි බිය හැඟීමෙන් යුතුව කටයුතු කළවුන් (නිරයෙන්) මුදවා ගන්නෙමු. තවද අපරාධකරුවන් එහි දණින් වැටී සිටීමට අත හැර දමන්නෙමු.
73තවද අපගේ වදන් පැහැදිලිව ඔවුන් වෙත පාරායනය කර පෙන්වනු ලබන විට දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් ‘(අප) කණ්ඩායම් දෙකින් නිලයෙන් වඩාත් ශ්‍රේෂ්ඨ හා සභාවෙන් වඩාත් අලංකාර වන්නේ කවරහු දැ? යි දේවත්වය විශ්වාස කරන්නන්හට පැවසුවෝ ය.
74තවද ඔවුනට පෙර, සම්පත් හා පෙනුමෙන් වඩාත් අලංකාර වූ පරම්පරාවන්ගෙන් කොපමණක් දෙනා අපි විනාශ කළෙමු ද?
75කවරෙකු මුළාවෙහි සිටිත් ද එවිට මහා කරුණාන්විතයාණන් ඔහුට කාල අවකාශය දිගු හරිනු ඇත. එය, ඔවුනට දඬුවමක් වශයෙන් හෝ අවසන් හෝරාව වශයෙන් හෝ ප්‍රතිඥා දෙනු ලැබූ දෑ ඔවුන් දකින තෙක් වනු ඇත. එවිට ස්ථානයෙන් නපුරු වන්නේ කවරෙකු ද එමෙන් ම සේනාවෙන් වඩාත් දුර්වල කවරෙකු ද යන වග ඔවුහු මතු දැන ගනු ඇත යැයි (නබිවරය!) නුඹ පවසනු.
76යහ මග ලැබූවන්හට අල්ලාහ් යහ මග අධික කරයි. ශේෂව සදා පවතින යහකම් නුඹගේ පරමාධිපති අබියස කුසලින් වඩාත් උතුම් ය. තවද නැවත යොමු වන ස්ථානයෙන් ද වඩාත් උතුම්ය.
77අපගේ වදන් ප්‍රතික්ෂේප කළ අය නුඹ නො දුටුවෙහි ද? සැබැවින් ම ධනය හා දරුවන් මට දෙනු ලබනු ඇතැයි ඔහු පැවසී ය.
78ඔහු ගුප්ත දෑ දෙස එඹී බැලුවේ ද? එසේ නැතහොත් මහා කරුණාන්විතයාණන් වෙතින් ඔහු ගිවිසුමක් ගෙන ඇත්ද?
79එසේ නොව ඔහු පවසන දෑ අපි ලියා තබන්නෙමු. තවද අපි දඬුවම දිගු කර ඔහුට පිරිනමන්නෙමු.
80තවද ඔහු පවසන දෑ අපි ඔහුට උරුම කර දෙන්නෙමු. ඔහු අප වෙත තනිව පැමිණෙනු ඇත.
81තවද ඔවුහු (බහු දේවවාදීන්) අල්ලාහ් හැර දමා (වෙනත්) දෙවිවරුන් ඔවුනට පිහිටක් වනු පිණිස ගත්තෝ ය.
82එසේ නො ව, ඔවුන් කළ නැමදුම් මොවුන් ප්‍රතික්ෂේප කරනු ඇත. තවද ඔවුනට එරෙහිව මොවුන් සිටිනු ඇත.
83දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් පොලඹ වන ෂෙයිතානුන්ව සැබැවින් ම අපි ඔවුන් වෙත එවා ඇති බව නුඹ නො දුටුවෙහි ද?
84එහෙයින් ඔවුනට එරෙහිව නුඹ ඉක්මන් නො වනු. ඔවුන් සඳහා වූ (නියමිත දින) ගණන් ගණනය කරමින් සිටින්නෙමු.
85එදින බිය බැතිමතුන් කණ්ඩායමක් වශයෙන් මහා කරුණාන්විතයාණන් වෙත අපි එක් රැස් කරන්නෙමු.
86තවද වැරදිකරුවන් පිපාසයෙන් යුතුව ගමන් කරවමින් නිරය වෙත අපි දක්කාගෙන යන්නෙමු.
87මහා කරුණාන්විතයාණන් වෙතින් ප්‍රතිඥාවක් ගත් අය හැර වෙනත් කිසිවකු මැදිහත්වීමට බලය නො දරනු ඇත.
88තවද මහා කරුණාන්විතයාණන් දරුවකු ගත්තේ යැයි ඔවුහු පැවසූහ.
89සැබැවින් ම නුඹලා බරපතළ කරුණක් ගෙනැවිත් ඇත.
90ඒ හේතුවෙන් අහස් ඉරිතැලෙන්නටත් මහපොළොව පැළෙන්නටත් කඳු සුණුවිසුණු වී කඩා වැටෙන්නටත් ළඟා විය.
91(එසේ සිදු වන්නේ) මහා කරුණාන්විතයාණන්හට දරුවකු වෙතැයි ඔවුන් අමතන හෙයිනි.
92තවද මහා කරුණාන්විතයාණන්හට දරුවකු ගැනීමට අවශ්‍ය නො වීය.
93අහස්හි හා මහපොළොවේ සිටින සෑම කෙනෙකුම මහා කරුණාන්විතයාණන් වෙත ගැත්තකු ලෙස ම පැමිණෙන්නේ ම ය.
94සැබැවින් ම ඔහු ඔවුන්ව තක්සේරු කර ඇත. එමෙන් ම ඔහු ඔවුන්ගේ (ක්‍රියාවන්හි) ගණන් ගණනය කර ඇත.
95තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔවුන් සෑම කෙනෙකුම ඔහු වෙත තනිව පැමිණෙනු ඇත.
96නියත වශයෙන් ම විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුනට මහා කරුණාන්විතයාණන් මතු සෙනෙහසක් ඇති කරයි.
97එසේ නුඹගේ බසින් ම අපි එය පහසු කරනුයේ එමඟින් නුඹ බිය බැතිමතුන්හට ශුභාරංචි දැන්වීමට හා මුරණ්ඩු ජනයා වෙත එමඟින් නුඹ අවවාද කිරීමට ය.
98තවද ඔවුනට පෙර වූ පරම්පරාවන්ගෙන් කොපමණක් දෙනා අපි විනාශ කළෙමු ද? ඔවුන්ගෙන් කිසිවෙකු ගැන හෝ නුඹට දැනෙනවා ද? නැතහොත් ඔවුන්ගේ කෙඳිරීමට නුඹ සවන් දෙන්නෙහි ද?