الذاريات
The Scattering Winds • 60 ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ
1දූවිලි විසුරු වන සුළං මත දිවුරමින්;
2(වැසි) බර උසුලන වළාකුළු මත දිවුරමින්;
3පහසුවෙන් යාත්‍රා කරන නැව් මත දිවුරමින්;
4කටයුතු බෙදා හරින්නන් මත දිවුරමින්;
5නියත වශයෙන් ම නුඹලාට පොරොන්දු දෙනු ලැබූ දෑ සත්‍යයක් ම ය.
6තවද නියත වශයෙන් ම විනිශ්චය සිදු වන්නක්ම ය.
7මාර්ගවලින් යුත් අහස මත දිවුරමින්;
8නියත වශයෙන් ම නුඹලා (එකිනෙකට) පටහැනි වූ ප්‍රකාශ අතර ය.
9හරවනු ලැබූවන් වෙනතකට එයින් හරවනු ලබති.
10බොරුකාරයින් විනාශ කරනු ලැබුවෝ ය.
11ඔවුන් වනාහි නොදැනුවත්කමෙහි ගැලී (මරණින් මතු දිනය ගැන) නො සැලකිලිමත් වූවෝ වෙති.
12විනිශ්චය දිනය කවදා දැ? යි ඔවුහු විමසති.
13එදින (නිරා) ගින්නේ ඔවුහු දඬුවම් කරනු ලබති.
14කවර දෙයක් පිළිබඳ නුඹලා ඉක්මණින් පතමින් සිටියහු ද එවන් නුඹලාගේ පරීක්ෂණය නුඹලා රස විඳිනු.
15නියත වශයෙන් ම බිය බැතිමතුන් (ස්වර්ග) උයන්හි හා (ජල) උල්පත්වල ය.
16ඔවුන්ගේ පරමාධිපති ඔවුනට පිරිනැමූ දෑ ලබා ගන්නන් වශයෙනි. නියත වශයෙන් ම ඔවුහු එයට පෙර දැහැමියන් ලෙස සිටියෝ ය.
17ඔවුහු (සලාතය සඳහා අවදි ව) රාත්‍රියෙහි ස්වල්ප කාලයක් නිදාගන්නන් වූහ.
18තවද අලුයම් කාලයන්හි ඔවුහු (පාපොච්චාරණය කරමින්) සමාව අයැදිති.
19තවද ඉල්ලා සිටින්නාට හා (ධනය) වළක්වනු ලැබූවන්ට ඔවුන්ගේ ධනයෙන් කොටසක් විය.
20තවද තරයේ විශ්වාස කරන්නන්හට මහපොළොවේ සංඥාවන් ඇත.
21තවද නුඹලා තුළ ද (සංඥාවන් ඇත). එහෙයින් නුඹලා අවධානයෙන් නො බලන්නෙහු ද?
22තවද නුඹලාගේ පෝෂණය හා නුඹලාට ප්‍රතිඥා දෙනු ලැබු දෑ අහස තුළ ඇත.
23අහස්හි හා මහපොළොවේ හිමිපාණන් මත දිවුරමින්. නියත වශයෙන් ම නුඹලා කතා කරනවාක් මෙන් සැබැවින් ම එය සත්‍යයක් ම ය.
24ඉබ්රාහීම්ගේ සම්භාවනීය ආගන්තුකයින්ගේ කතාව නුඹ වෙත පැමිණියේ ද?
25ඔවුහු ඔහු වෙත පිවිසුණු අවස්ථාවේ ඔවුහු සලාම් (සාමය) යැයි පැවසුවෝ ය. ඔහු ද සලාම් (සාමයයි) පැවසී ය. (මොවුහු) නාඳුනන පිරිසකි (යැයි ඉබ්රාහීම් සිතුවේ ය.)
26එසැණින් ඔහු තම පවුල වෙත ගොස් බැඳපු (පුෂ්ටිමත්) වසුපැටවකු ගෙන ආවේ ය.
27ඔහු එය ඔවුන් වෙත සමීප කරවී ය. (ඔවුන් එයින් වැළකී සිටිනු දැක) “නුඹලා අනුභව නො කරන්නෙහු දැ”යි ඔහු විමසී ය.
28ඔවුන් ගැන බියක් ඔහු තුළ ඇති විය. (එවිට) “නුඹ බිය නො වනු”යි ඔවුහු පැවසූහ. තවද ඥානවන්ත දරුවකු පිළිබඳව ඔවුහු ඔහුට ශුභාරංචි දන්වා සිටියහ.
29එවිට ඔහුගේ බිරිය හඬ නගමින් ඉදිරියට පැමිණ ඇයගේ මුහුණට ඇය ගසා ගනිමින් (තමන්) “වයෝවෘද්ධ වඳ කතක්” යැයි පැවසුවා ය.
30“නුඹලාගේ පරමාධිපති පවසා ඇත්තේ එලෙස ය. නියත වශයෙන් ම ඔහු සර්ව ඥානී මහා ප්‍රඥාවන්ත ය.” යැයි ඔවුහු පැවසූහ.
31අහෝ එවනු ලැබූ දූතයිනි! එසේනම් නුඹලාගේ දූත පණිවිඩය කුමක් දැ? යි ඔහු (ඉබ්රාහීම්) විමසී ය.
32“සාපරාධි පිරිසක් වෙත නියත වශයෙන් ම අපි එවනු ලැබුවෙමු” යැයි ඔවුහු පැවසූහ.
33“මැටියෙන් යුත් ගල් (වර්ෂාවක්) ඔවුන් වෙත අප එවනු පිණිස.”
34“සීමාව ඉක්මවා ගියවුන් සඳහා නුඹගේ පරමාධිපති වෙතින් සලකුණු තබනු ලැබූවක් ලෙසින්”
35එවිට එහි සිටියවුන් අතරින් දේවත්වය විශ්වාස කරන්නන් අපි බැහැර කළෙමු.
36එහෙයින් අවනතවන්නන්ගෙන් එක් නිවසක් හැර වෙනත් කිසිවක් අපි එහි නො දුටුවෙමු.
37තවද වේදනීය දඬුවමට බියවන්නන්හට අපි එහි සංඥාවක් අත හැර දැමුවෙමු.
38තවද මූසා තුළ ද (සංඥාවක්) විය. එය අපි ඔහු ෆිර්අවුන් වෙත පැහැදිලි බලයක් සමඟ එවූ අවස්ථාවේ දී ය.
39එවිට ඔහු (ෆිර්අවුන්) ඔහුගේ බල ඇණිය හේතුවෙන් පිටුපෑවේ ය. තවද (මූසා) “මායාකරුවෙකි. එසේ නැතහොත් උම්මත්තකයෙකි” යැයි ඔහු පැවසී ය.
40එවිට අපි ඔහු හා ඔහුගේ සේනාව ග්‍රහණය කළෙමු. එවිට ඔහු දොස් නගනු ලැබූවෙකු ලෙසින් අපි ඔවුන් මුහුදට හෙළුවෙමු.
41තවද ආද් ජනයා තුළ ද (සංඥාවක් විය). එය ඔවුන් වෙත අපි වද සුළඟක් එවූ අවස්ථාවේ දී ය.
42එය කවර කරුණක් මත ගැටුණ ද එය දිරාපත් වී ගිය දෑ මෙන් පත් කළාක් මිස අත්හැරියේ නැත.
43තවද සමූද් ජනයා තුළ ද (සංඥාවක්) විය. එය “නුඹලා ටික කලකට භුක්ති විඳිනු” යැයි කියනු ලැබූ අවස්ථාවේ දී ය.
44එහෙත් ඔවුන්ගේ පරමාධිපතිගේ නියෝගයට ඔවුහු අකීකරු වූවෝ ය. එවිට ඔවුන් බලා සිටියදීම අකුණු පහර ඔවුන් ග්‍රහණය කළේ ය.
45එවිට සිට ගැනීමට පවා ඔවුනට නොහැකි විය. තවද ඔවුහු තමන්ට ම උදව් කරගන්නන් නො වූවෝ ය.
46තවද මීට පෙර නූහ්ගේ ජනයා ද (අපි ග්‍රහණය කළෙමු.) නියත වශයෙන් ම ඔවුහු දුෂ්ඨ සමාජයක් වූහ.
47තවද අපි අහස එය (අපගේ) බල ශක්තිය යොදා ඉදි කළෙමු. තවද නියත වශයෙන් ම අපි ප්‍රසාරණය කරන්නන් වෙමු.
48තවද මහපොළොව, අපි එය දිග හැරියෙමු. (විධිමත් ව) දිග හැරියවුන් යහපත් විය.
49තවද නුඹලා මෙනෙහි කළ හැකි වනු පිණිස සෑම දෙයක් ම යුගල වශයෙන් ම අපි මැව්වෙමු.
50එහෙයින් නුඹලා අල්ලාහ් වෙත වේගයෙන් යනු. නියත වශයෙන් ම මම නුඹලා වෙනුවෙන් ඔහුගෙන් වූ පැහැදිලි අනතුරු හඟවන්නෙකි.
51තවද නුඹලා අල්ලාහ් සමඟ වෙනත් දෙවියෙකු පත් නො කරනු. නියත වශයෙන් ම මම ඔහුගෙන් නුඹලා වෙනුවෙන් පැමිණි පැහැදිලි අවවාද කරන්නෙකු වෙමි.
52එලෙසය ඔවුනට පෙර සිටියවුන් වෙත යම් ධර්ම දූතයකු පැමිණි විට හූනියම් කරුවෙකි නැතහොත් උම්මත්තකයෙකි යැයි ඔවුහු පැවසුවා මිස නො වීය.
53ඔවුහු එකිනෙකා මේ ගැන උපදෙස් කර ගත්තෝ ද? එසේ නොව ඔවුන් සීමාව ඉක්මවා ගිය පිරිසකි.
54එහෙයින් (නබිවරය!) නුඹ ඔවුන්ගෙන් ඉවත් වනු. නුඹ දොස් නගනු ලබන්නෙකු නො වනු ඇත.
55තවද (නබිවරය!) නුඹ මෙනෙහි කරනු. නියත වශයෙන් ම මෙනෙහි කිරීම දේවත්වය විශ්වාස කරන්නන්හට ප්‍රයෝජනවත් වනු ඇත.
56තවද ජින් වර්ගයා හා මානව වර්ගයා වන ඔවුන් මට ගැතිකම් කිරීමට මිස මම නො මැව්වෙමි.
57ඔවුන්ගෙන් මම කිසිදු පෝෂණයක් අපේක්ෂා නො කරමි. එමෙන් ම ඔවුන් මට ආහාර සැපයිය යුතු යැයි ද මම අපේක්ෂා නො කරමි.
58නියත වශයෙන් ම අල්ලාහ් වන ඔහු ස්ථාවර බලය ඇති මහා පෝෂකයා ය.
59එහෙයින් නියත වශයෙන් ම අපරාධ කළවුන් වනාහි ඔවුන්ගේ සගයින්ගේ පාපයන් මෙන් පාපයන් ඔවුනට ඇත. එහෙයින් ඔවුහු (දඬුවම) ඉක්මන් කරන්නැයි මගෙන් නො පැතිය යුතු ය.
60ප්‍රතික්ෂේප කළවුන්ට, ඔවුනට ප්‍රතිඥා දෙනු ලබන ඔවුන්ගේ දිනයේ විනාශය ඇත.