ق
Qaf • 45 ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ
1කාෆ්,[1] කීර්තිමත් අල් කුර්ආනය මත දිවුරමින්.
2එහෙත් අවවාද කරන්නෙකු ඔවුන් අතරින් ම ඔවුන් වෙත පැමිණීම ගැන ඔවුහු පුදුමයට පත් වූවෝ ය. එවිට “මෙය පුදුම සහගත කරුණකි”යැයි දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෝ පැවසුවෝ ය.
3“අප මිය ගොස් පස් බවට පත් වූ විට (යළි ජීවය දෙනු ලබන්නේ) ද? එය (බුද්ධියට) දුරස් හැරීමකි.
4මහපොළොව ඔවුන්ගෙන් අඩු කර දමන දෑ ගැන සැබැවින් ම අපි දනිමු. තවද අප අබියස ආරක්ෂිත පුස්තකයක් ඇත.
5එහෙත් ඔවුන් වෙත සත්‍යය පැමිණි කල්හි ඔවුහු එය බොරු කළෝ ය. එවිට ඔවුහු අවුල් සහගත තත්ත්වයක වූවෝ ය.
6ඔවුනට ඉහළින් ඇති අහස දෙස අපි එය ඉදි කර ඇත්තේ කෙසේ දැ? යි ද තවද අපි එය අලංකාර කර ඇත්තේ කෙසේ දැ? යි ද ඔවුහු නො බැලුවෝ ද? තවද පලුදු කිසිවක් එයට නැත.
7තවද මහපොළොව අපි එය දිගු හැර එහි කදු හෙළුවෙමු. තවද අපි ඒ තුළ මනහර සෑම වර්ගයක් ම යුගල වශයෙන්හට ගැන්වූයෙමු.
8(එසේ කළේ තම පරමාධිපති වෙතට) යොමු වන සෑම ගැත්තෙකුට ම මග පෙන්වීමක් හා මෙනෙහි කිරීමක් වශයෙනි.
9තවද අපි අහසින් ආශිර්වාද ලත් ජලය පහළ කළෙමු. එමඟින් අපි වතු යායන් හා නෙළන බීජ ද හට ගැන්වූයෙමු.
10තවද එහි එකිනෙකට ඇමුණුනු වලු සහිත උසින් පවතින ඉඳි ගස් ද (අපි හට ගැන්වූයෙමු.)
11(එය) ගැත්තන්හට පෝෂණයක් වශයෙනි. තවද අපි එමඟින් මියගිය භූමියක් ප්‍රාණවත් කළෙමු. (මිනි වළෙන්) බැහැර වීම ද එලෙස ය.
12ඔවුනට පෙර සිටි නූහ්ගේ ජනයා ද, රස් වාසීහු ද, සමූද් ජනයා ද බොරු කළෝ ය.
13ආද් ජනයා ද, ෆිර්අවුන් ද, ලූත්ගේ සහෝදරයෝ ද,
14අයිකා වාසීහු ද, තුබ්බඃ ජනයා ද (බොරු කළෝය). මේ සියල්ලෝ ම ධර්ම දූතයින් බොරු කළෝ ය. එහෙයින් මාගේ අවවාදය නියම විය.
15මුල් මැවීමෙන් අපි ආයාසයට පත්වූයෙමු ද? නැත, (මිය ගිය පසු) නව මැවීම ගැන ඔවුහු සැකයෙහි වෙති.
16තවද සැබැවින් ම අපි මිනිසා මැව්වෙමු. තවද ඔහුගේ සිත කවර දෙයක් කොඳුරන්නේ ද එය අපි දන්නෙමු. තවද ගෙල නහරට වඩා අප ඔහු වෙත සමීප ය.
17දකුණු පසින් හා වම් පසින් වාඩි වී සිටින වාර්තාකරුවන් දෙදෙනා සටහන් කර ගන්නා අවස්ථාවේ;
18කිසිදු වදනක් ඔහු උච්චාරණය කළ ද (සියල්ල) නිරීක්ෂා කරන සටහන් කරන්නෙකු ඔහු අසලින් සිටින්නේ ම ය.
19තවද මරණයේ වේදනාව සැබෑ ලෙසින් ම පැමිණ ඇත. නුඹ ඉන් මඟ හරිමින් සිටි දෑ එයයි.
20තවද හොරණෑවෙහි පිඹිනු ලැබේ. අවවාදයේ දිනය එයයි.
21තවද සෑම ආත්මයක් ම එය මෙහෙයවන්නෙකු හා සාක්ෂිකරුවෙකු සමඟ පැමිණ ඇත.
22“සැබැවින් ම නුඹ මේ ගැන නො සැලකිලිමත් කමෙහි සිටියෙහි ය. (දැන්) අපි නුඹේ තිරය නුඹෙන් ඉවත් කළෙමු. එහෙයින් අද දින නුඹේ බැල්ම තියුණු ය.”
23තවද “මෙන්න, මා සතුව සටහන් කරනු ලැබූ වාර්තාවක් ඇත” යැයි (සටහන් කරන මලක්වරයා වන) ඔහුට සමීපයෙන් සිටින්නා පවසනු ඇත.
24“හිතුවක්කාර ලෙස ප්‍රතික්ෂේප කරන සියල්ලන්ව නුඹලා දෙදෙනා නිරයේ දමනු!
25(ඔවුන්) යහපත දැඩි ලෙස වළක්වාලන, සීමාව ඉක්මවා ගිය, සැකයෙන් පසු වන (අය වෙති).
26අල්ලාහ් සමඟ වෙනත් දෙවිඳෙකු පත් කර ගත් අය වනාහි, නුඹලා දෙදෙනා ඔහුව දැඩි දඬුවමට හෙළනු.
27“අපගේ පරමාධිපතියාණනි! මා ඔහුව නොමග යැව්වේ නැත. එහෙත් ඔහු අන්ත මුළාවෙහි විය” යැයි ඔහුට සමීපත මිතුරා (ෂෙයිතාන්) පවසනු ඇත.
28“මා ඉදිරියේ නුඹලා තර්ක නො කරනු. සැබැවින් ම මෙම අවවාදය නුඹලා වෙත මම ඉදිරිපත් කර ඇත්තෙමි” යැයි ඔහු (අල්ලාහ්) පවසනු ඇත.
29මා ඉදිරියේ එම ප්‍රකාශය වෙනස් කරනු ලබන්නක් නො වෙයි. තවද මම ගැත්තන්හට අපරාධ කරන්නෙකු නො වෙමි.” (යැයි අල්ලාහ් පවසනු ඇත.)
30එදින “නුඹ පිරුණෙහි දැ?”යි අපි නිරය අමතා පවසමු. “(මීට අමතර ව) තවත් යමක් වැඩියෙන් තිබේ දැ?” යි එය විමසයි.
31තවද දුරස්ථභාවයකින් තොරව බිය බැතිමතුන්හට (ස්වර්ග) උයන සමීප කරවනු ලැබේ.
32ප්‍රවේශම් වන නැඹුරු වන සෑම කෙනෙකු සඳහා නුඹලාට ප්‍රතිඥා දෙනු ලබන දෑ මෙයයි.
33කවුරුන් අදෘශ්‍යමාන තත්ත්වයේදී මහා කරුණාන්විතයාණන්ට බිය වී (ඔහු වෙත) හැරෙන හදවතකින් පැමිණෙන්නේද;
34නුඹලා එහි සාමයෙන් ඇතුළු වනු. එය සදාකාලික දිනයයි. (යනුවෙන් පවසනු ලැබේ.)
35ඔවුනට එහි ඔවුන් කැමති දෑ ඇත. තවද (ඊට) අමතර දෑ ද අප අබියස ඇත.
36මොවුනට පෙර පරම්පරාවන් කොපමණක් අපි විනාශ කළෙමු ද? මොවුනට වඩා ඔවුන් බලයෙන් වඩාත් ශක්තිමත් වූවෝ ය. එවිට ඔවුහු දේශයන්හි සැරිසරන්නට වූවෝ ය. (ඔවුනට) කිසිදු සරණ පතන තැනක් වී ද?
37කවරෙකුට හදවතක් වී ද එසේ නැතහොත් කවරෙකු සාවධානයෙන් සවන් යොමු කළේ ද ඔහුට නියත වශයෙන් ම එහි අනුශාසනාවක් ඇත.
38තවද සැබැවින් ම අපි අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද දින හයක් තුළ මැව්වෙමු. තවද කිසිදු වෙහෙසක් අපට ඇති නො වීය.
39එහෙයින් ඔවුන් පවසන දෑ මත (නබිවරය!) නුඹ ඉවසීමෙන් සිටිනු. හිරු උදාවීමට පෙර ද එය අවරට යෑමට පෙර ද නුඹ නුඹේ පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් සුවිශුද්ධ කරනු.
40තවද රාත්‍රියේ ද සුජූද් කිරීමෙන් පසුව ද (නුඹ ඔහු සුවිශුද්ධ කරනු).
41තවද සමීප ස්ථානයක සිට අමතන්නා අමතන දිනයට නුඹ සවන් දෙනු.
42එදින සැබෑ ලෙසින් ම මහා හඬට ඔවුන් සවන් දෙනු ඇත. එය (මිනීවලවලින්) බැහැර කරනු ලබනු දිනයයි.
43නියත වශයෙන් ම අපි ජීවය දෙන්නෙමු. තවද අපි මරණයට පත් කරන්නෙමු. තවද අප වෙතය නැවත යොමු වීමේ ස්ථානය ඇත්තේ.
44එදින මහපොළොව ඔවුන්ගෙන් පැළී කඩිනමින් වෙන්ව යනු ඇත. එක්රැස් කිරීම වනුයේ එයයි. එය අප වෙත පහසු ය.
45ඔවුන් පවසන දෑ පිළිබඳ මැනවින් දන්නෝ අප වෙමු. නුඹ ඔවුන් වෙත ආධිපත්‍ය දරන්නෙකු නො වේ. එහෙයින් මාගේ අවවාදයට බිය වන්නන්හට නුඹ අල් කුර්ආනය පිළිබඳ මෙනෙහි කරනු.