هود
Hud • 123 ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ
1අලිෆ්, ලාම්, රා.[1] (මෙය) එහි වදන් තහවුරු කරන ලදුව, පසුව සියුම් ඥානී ප්‍රඥාවන්තයාණන් විසින් විස්තර කරනු ලැබූ පුස්තකයයි.
2අල්ලාහ් හැර වෙනත් කිසිවකුට නුඹලා නැමදුම් නො කළ යුතු ය. නියත වශයෙන් ම මම ඔහු වෙතින් නුඹලාට අවවාද කරන්නෙකු හා ශුභාරංචි දන්වන්නෙකු වෙමි.
3තවද නුඹලා නුඹලාගේ පරමාධිපතිගෙන් සමාව අයැද පසුව පශ්චාත්තාප වී ඔහු වෙත යොමු විය යුතු ය. නියම කරන ලද කාලයක් දක්වා, ඔහු නුඹලාට යහපත් භුක්ති විදීමක් භුක්ති විදින්නට සලස්වයි. භාග්‍යවන්ත සෑම කෙනෙකුට ම ඔහුගේ භාග්‍යය ඔහු පිරිනමයි. එහෙත් ඔවුන් හැරී ගියේ නම් එවිට නියත වශයෙන් ම නුඹලා වෙත මහත් වූ දිනයක දඬුවම ගැන මම බිය වෙමි.
4නුඹලාගේ නැවත යොමු වන ස්ථානය අල්ලාහ් වෙත ය. තවද ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිවන්තයා ය.
5දැන ගනු! සැබැවින් ම ඔවුන් (අල්ලාහ් වන) ඔහුගෙන් සැඟ වෙනු පිණිස ඔවුන්ගේ හදවත් (තුළ ඇති දෑ) වසන් කරති. දැන ගනු! ඔවුන්ගේ ඇඳුමින් ඔවුන් ආවරණය කරන විට ඔවුන් සඟවන දෑද ඔවුන් හෙළි කරන දෑද ඔහු දනී. නියත වශයෙන් ම ඔහු හදවත් තුළ ඇති දෑ පිළිබඳව සර්ව ඥානී ය.
6මහපොළොවේ වෙසෙන කිසිදු ජීවියෙකු හෝ වේවා එහි පෝෂණය අල්ලාහ් මත මිස වෙනත් අයකු මත නැත. තවද එය වෙසෙන තැන ද එය සමුගෙන යන තැන ද ඔහු දනී. සියල්ල පැහැදිලි ලේඛනයෙහි ඇත.
7තවද අහස් හා මහපොළොව දින හයකින් මැව්වේ ඔහු ය. තවද ඔහුගේ රාජධානිය ජලය මත විය. නුඹලාගෙන් කවරෙකු ක්‍රියාවෙන් වඩාත් අලංකාර දැ? යි ඔහු නුඹලාව පරීක්ෂා කරනු පිණිස ය. ‘සැබැවින් ම නුඹලා මරණයෙන් පසුව නැවත නැගිටුවනු ලබන්නන්’ බව නුඹ පැවසුවේ නම් ‘මෙය පැහැදිලි ඉන්ද්‍රජාලයක් මිස නැතැ’යි දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් පවසනු ඇත.
8තවද නියමිත කාල පරිච්ඡේදයක් දක්වා එම දඬුවම ඔවුන්ගෙන් අපි ප්‍රමාද කළේ නම් ‘එය වැළැක්වූයේ කුමක් දැ?’ යි ඔවුහු පවසනු ඇත. දැන ගනු! ඔවුන් වෙත එය පැමිණෙන දින ඔවුන්ගෙන් එය වෙනතකට හරවා යවනු ලබන්නක් නො වේ. ඔවුන් කවර දෙයක් පිළිබඳව සමච්චල් කරමින් සිටියේ ද එය ඔවුන්ව වට කර ගනී.
9තවද මිනිසාට අපි අපගෙන් වූ දයාවක් භුක්ති විඳින්නට සලස්වා පසුව අපි එය ඔහුගෙන් ඉවත් කළේ නම් නියත වශයෙන් ම ඔහු බලාපොරොත්තු සුන් වූ දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන්නෙකු වේ.
10තවද අපි ඔහුට අත්වූ පීඩාවන්ගෙන් පසුව දායාද භුක්ති විඳින්නට සැලැස්වූයේ නම් ඔහු ‘සැබැවින් ම නපුරු දෑ මගෙන් පහව ගොස් ඇතැයි පවසනු ඇත. නියත වශයෙන් ම ඔහු ප්‍රමෝදයට පත්වන උඬඟු වූවෙකි.
11එහෙත් ඉවසා දරා යහකම් කළවුන් හැර. ඔවුනට සමාව ද මහත් ප්‍රතිඵල ද ඇත.
12‘ඔහු කෙරෙහි නිධානයක් පහළ විය යුතු නො වේ ද, එසේ නැතහොත් ඔහු සමඟ දේව දූතයකු පැමිණිය යුතු නො වේ දැ? යි ඔවුන් පවසා සිටීම හේතුවෙන් නුඹගේ හදවත එමඟින් පීඩනයට පත්ව තිබිය දී නුඹ වෙත දන්වනු ලබන දැයින් සමහර ඒවා (නුඹ නිවේදනය නො කොට) අත හැර දමන්නට පුළුවන. නියත වශයෙන් ම නුඹ අවවාද කරන්නෙකු පමණි. තවද අල්ලාහ් සියලු දෑ මත භාරකරු ය.
13එසේ නැතහොත් ඔහු එය ගෙතුවේ යැයි ඔවුහු පවසන්නෝ ද? (නබිවරය!) නුඹ පවසනු. එසේ නම්, ගොතන ලද එවැනිම පරිච්ඡේද දහයක් නුඹලා ගෙන එනු. තවද නුඹලා සත්‍යවාදීන්ව සිටියෙහු නම්, අල්ලාහ් හැර දමා (ඒ සඳහා) නුඹට හැකි අය කැඳවා ගනු.
14එසේ ඔවුහු නුඹලාට පිළිතුරු නො දෙන්නේ නම් එවිට නියත වශයෙන් ම මෙය පහළ කරනු ලැබුවේ අල්ලාහ්ගේ දැනුමෙන් බවත් ඔහු හැර නැමදුමට වෙනත් දෙවිඳෙකු නොමැති බවත් නුඹලා දැන ගනු. නුඹලා (අල්ලාහ්ට අවනත වන) මුස්ලිම්වරුන් ද?
15කවරෙකු මෙලොව ජීවිතය හා එහි අලංකාරය අපේක්ෂා කරමින් සිටියේ ද අපි ඔවුන්ගේ ක්‍රියාවන්(හි ප්‍රතිඵල) ඔවුනට එහි පූර්ණව පිරිනමමු. එහි ඔවුන්ට කප්පාදු කරනු නො ලබනු ඇත.
16මතු ලොවෙහි (නිරා) ගින්න හැර තමන්ට වෙනත් කිසිවක් නොමැති උදවිය ඔවුහු ම ය. ඔවුන් එහි සිදු කළ දෑ විනාශ වී විය. තවද ඔවුන් කරමින් සිටි දෑ නිෂ්ඵල ය.
17තම පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් මත වී ඔහුගෙන් වූ සාක්ෂිකරුවකු පැමිණ සිටිය දී එමෙන් ම ඊට පෙර මග පෙන්වීමක් හා දයාවක් වශයෙන් මූසාගේ පුස්තකය ද තිබිය දී එවන් අය (ප්‍රතික්ෂේප කළවුන් හා) සමාන වන්නේ ද? ඔවුහු එය විශ්වාස කරති. තවද ජන සමූහයන් අතරින් කවරෙකු එය ප්‍රතික්ෂේප කරන්නේ ද එවිට ඔහුගේ ප්‍රතිඥත ස්ථානය (නිරා) ගින්න ය. එබැවින් නුඹ ඒ ගැන සැකයෙහි පසු නො වනු. නියත වශයෙන් ම එයයි නුඹගේ පරමාධිපතිගෙන් වූ සත්‍ය ය. එහෙත් ජනයා අතරින් බහුතරයක් දෙනා එය විශ්වාස නො කරති.
18අල්ලාහ් මත බොරු ගොතන්නාට වඩා මහා අපරාධකරු කවරෙකු ද? ඔවුන් තම පරමාධිපති වෙත ඉදිරිපත් කරනු ලබති. තවද ‘මොවුන් තම පරමාධිපති වෙත බොරු පැවසූවන් යැයි සාක්ෂිකරුවෝ පවසති. දැන ගනු! අපරාධකරුවන් වෙත අල්ලාහ්ගේ ශාපය වේවා.
19ඔවුහු වනාහි අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වා එහි දෝෂ සොයති. තවද පරමාන්ත දිනය පිළිබඳ ප්‍රතික්ෂේප කරන්නෝ ඔවුහු ම ය.
20ඔවුහු මහපොළොවේ (අල්ලාහ් ව) නොහැකියාවට පත් කරන්නන් නො වූහ. තවද අල්ලාහ්ගෙන් තොරව වෙනත් භාරකරුවන් ඔවුනට නො වීය. ඔවුනට එම දඬුවම දෙගුණ කර දෙනු ලැබේ. ඔවුහු සවන් දෙන්නට ශක්තිය දරන්නන් නො වූහ. එමෙන් ම බලන්නන් ද නො වූහ.
21තමන්ට ම අලාභහානි කර ගත්තවුන් ඔවුන් ම ය. තවද ඔවුන් ගොතමින් සිටි දෑ ඔවුන්ගෙන් මුලා වී ගොස් ඇත.
22නියත වශයෙන් ම ඔවුහු මතු ලොවෙහි මහත් අලාභවන්තයින් බවට කිසිදු සැකයක් නැත.
23නියත වශයෙන් ම දේවත්වය විශ්වාස කර, යහකම් කොට තවද තම පරමාධිපති වෙත යටහත් වූවන් වනාහි ඔවුහු මය ස්වර්ගවාසීහු. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.
24මෙම කණ්ඩායම් දෙකෙහි උපමාව අන්ධයා හා බිහිරා, එමෙන් ම දෘෂ්ටිය ඇත්තා හා සවන් දෙන්නා මෙන් වෙයි. මොවුන් දෙදෙනා උපමාවෙන් සමාන වෙයි ද? එබැවින් නුඹලා මෙනෙහි කළ යුතු නො වේ ද?
25තවද සැබැවින් ම අපි නූහ්ව ඔහුගේ ජනයා වෙත එව්වෙමු. නියත වශයෙන් ම මම නුඹලාට අවවාද කරන්නෙකු වෙමි.
26නුඹලා අල්ලාහ් හැර (වෙනත් කිසිවෙකුට) නැමදුම් නො කළ යුතු ය. නියත වශයෙන් ම මම නුඹලා වෙත වේදනීය දිනයක දඬුවම ගැන බිය වෙමි. (යැයි පැවසුවේ ය.)
27එවිට ‘නුඹ අප මෙන් මිනිසෙකු ලෙසින් මිස අපි නුඹව නො දකිමු. එමෙන් ම අපට වඩා පහත් ගම්බද අදහස් ඇති අය හැර වෙනත් කිසිවකු නුඹව අනුගමනය කරන බව ද අපි නො දකිමු. තවද අපට වඩා ශ්‍රේෂ්ඨත්වයක් නුඹලාට ඇතැයි ද අපි නො සිතමු. නුඹලා මුසාවාදීන් බව අපි සිතමු’ යැයි ඔහුගේ ජනයා අතරින් ප්‍රතික්ෂේප කළ ප්‍රධානීහු පැවසූහ.
28‘මාගේ ජනයිනි! මා මාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් මත වී ඔහු වෙතින් මාහට ආශිර්වාද පිරිනමා එය නුඹලා වෙත නො පෙනෙන්නට සලස්වා තිබිය දී, නුඹලා ඒ ගැන කුමක් සිතන්නෙහු ද? නුඹලා එය පිළිකුල් කරන්නන් ලෙස සිටිය දී අපි නුඹලාට එය බලකරන්නෙමු ද?’ යැයි ඔහු පැවැසුවේ ය.
29තවද අහෝ මාගේ ජනයිනි! මේ වෙනුවෙන් මම නුඹලාගෙන් මුදලක් නො ඉල්ලමි. මාගේ කුලිය අල්ලාහ් වෙත මිස වෙනත් නැත. තවද මම විශ්වාස කළවුන් පලවා හරින්නෙකු ද නො වෙමි. නියත වශයෙන් ම ඔවුහු ඔවුන්ගේ පරමාධිපතිව හමු වන්නෝ වෙති. එනමුත් මම නුඹලාව දකිනුයේ අඥානව කටයුතු කරන පිරිසක් ලෙසිනි.
30තවද ‘අහෝ මාගේ ජනයිනි! මම ඔවුන් පලවා හැරියේ නම් අල්ලාහ් වෙතින් මට උදව් කරනුයේ කවරෙකු ද? නුඹලා මෙනෙහි කළ යුතු නො වේ ද?’
31මා වෙත අල්ලාහ්ගේ භාණ්ඩාගාරයන් ඇතැයි මම නො කියමි. තවද මම ගුප්ත දැය නො දනිමි. තවද සැබැවින් ම මම මලක්වරයකු යැයි ද නො කියමි. තවද නුඹලාගේ ඇස් අවමානයෙන් දකින උදවියට අල්ලාහ් කිසිදු යහපතක් නො පිරිනමනු ඇතැයි මම නො කියමි. ඔවුන් තුළ ඇති දෑ පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නා ය. නියත වශයෙන් ම මම එවිට අපරාධකරුවන් අතරින් වෙමි.
32අහෝ නූහ්! සැබැවින් ම නුඹ අප සමඟ තර්ක කළෙහි ය. අප සමඟ වූ තර්කය නුඹ අධික කළෙහි ය. නුඹ සත්‍යවාදීන් අතරින් වී නම් නුඹ අපට ප්‍රතිඥා දෙන දෑ අප වෙත ගෙන එනු යැයි ඔවුහු පැවසුවෝ ය.
33සැබැවින් ම අල්ලාහ් එය නුඹලා වෙත ගෙන එනුයේ ඔහු අභිමත කළේ නම් පමණි. තවද නුඹලා (අල්ලාහ්ව) නොහැකියාට පත් කරන්නන් නො වන්නෙහු ය.
34තවද නුඹලාව නොමගෙහි අතහැර දමන්නට අල්ලාහ් අපේක්ෂා කර සිටියේ නම් මම නුඹලාට උපදෙස් දීමට සිතුව ද නුඹලාට මාගේ උපදෙස ඵලක් නො වන්නේ ය. ඔහුය නුඹලාගේ පරමාධිපති. තවද ඔහු වෙතට මය නුඹලා නැවත යොමු කරනු ලබනුයේ.
35එසේ නැතහොත් ඔහු එය ගෙතුවේ යැයි ඔවුහු පවසන්නෝ ද? (නබිවරය!) නුඹ පවසනු. එය මා ගෙතුවේ නම් (මා කළ) මාගේ වැරුද්ද මට එරෙහිව ය. තවද නුඹලා කරන වැරදි දැයින් මම නිදහස් වෙමි.
36තවද නුඹගේ ජනයා අතරින් (මේ වන විටත්) විශ්වාස කළවුන් හැර වෙනත් කිසිවකු විශ්වාස නො කරන්නේ ම ය. එබැවින් ඔවුන් කරමින් සිටි දෑ පිළිබඳව නුඹ දුක් නො වනු යැයි නූහ්ට පණිවිඩ දෙන ලදි.
37තවද අපගේ අධීක්ෂණය හා අපගේ අණ පරිදි නුඹ නිර්මාණය කරනු. තවද අපරාධ කළවුන් සම්බන්ධයෙන් නුඹ මා සමඟ කතා නො කරනු. නියත වශයෙන් ම ඔවුහු ගිල්වනු ලබන්නෝ ම ය.
38තවද ඔහු නැව නිර්මාණය කරයි. ඔහුගේ ජනයා අතරින් ප්‍රධානීහු ඔහු අසළින් ගමන් කළ සෑම විට ම ඔහුට ඔවුහු සමච්චල් කළෝ ය. එබැවින් නුඹලා සමච්චල් කරන්නාක් මෙන් ම සැබැවින් ම අපි ද නුඹලාට සමච්චල් කරන්නෙමු යැයි ඔහු පැවසී ය.
39එවිට තමන් අවමානයට පත් කරන දඬුවම කවුරුන් වෙත පැමිණෙන්නේ දැ? යි ද සදාතනික දඬුවම කවුරුන් වෙත ඇති වන්නේ යැයි ද නුඹලා මතු දැන ගනු ඇත.
40අවසානයේ අපගේ නියෝගය පැමිණ උදුන උතුරා ගිය විට එහි දෙදෙනෙකුගෙන් යුත් සෑම යුගලයක් බැගින් ද තවද (දඬුවමේ) වදන කවුරුන් වෙත පෙරටු වූයේ ද ඔවුන් හැර නුඹගේ පවුලේ සෙසු උදවිය ද විශ්වාස කළවුන් ද එහි (නැවට) නංවා ගනුයි අපි පැවසුවෙමු. ඔහු සමඟ ස්වල්ප දෙනෙකු මිස විශ්වාස නො කළේ ය.
41නුඹලා එහි ගොඩ වනු. එය ගමන් ගන්නේත් එය නතර වන්නේත් අල්ලාහ්ගේ නාමයෙනි. නියත වශයෙන් ම මාගේ පරමාධිපති අතික්ෂමාශීලී කරුණා ගුණයෙන් යුක්තය යැයි ඔහු පැවසුවේ ය.
42තවද ඔවුන් රැගෙන කඳු මෙන් වූ රළ අතර එය ගමන් ගත්තේ ය. නූහ් තම පුතණුවන් ඇමතුවේ ය. ඔහු (නැවෙන්) බැහැරව සිටියේ ය. ‘මාගේ පුතණුවනි, අප සමඟ ඔබත් ගමන් ගනු. තවද ඔබ දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් සමඟ නො වනු.
43(එවිට ඔහු) ජලයෙන් මා ආරක්ෂා කරන කන්දක් වෙත යමි යැයි පැවසුවේ ය. කවුරුන් වෙත ඔහු කරුණාව පෙන්වූයේ ද ඔවුන් හැර අල්ලාහ්ගේ නියෝගයෙන් අද දින ආරක්ෂා කරන කිසිවෙකු නැත යැයි (නූහ්) පැවැසුවේ ය. ඔවුන් දෙදෙනා අතර රළ වට කර ගත්තේ ය. එවිට ඔහු ගිලීගිය අය අතරට පත් විය.
44අහෝ මහපොළොව! ඔබේ ජලය ඔබ ගිල ගනු. අහෝ අහස! ඔබ (වැසි) නතර කරනු යැයි කියනු ලැබී ය. ජලය ද අඩු වී ගියේ ය. නියෝගය ද තීන්දු විය. එය (නැව) ජූද් කන්ද මත රැඳිණ. තවද අපරාධකාරී ජනයා දුරස් වේවා! යැයි කියනු ලැබී ය.
45එවිට නූහ් තම පරමාධිපති අමතා මාගේ පරමාධිපතියාණනි! නියත වශයෙන් ම මාගේ පුතණුවන් මාගේ ම පවුලේ කෙනෙකි. තවද නියත වශයෙන් ම ඔබගේ ප්‍රතිඥාව සැබෑවකි. තවද ඔබ තීරකයින් අතරින් මහා තීරකය යැයි ප්‍රාර්ථනා කළේ ය.
46අහෝ නූහ්! නියත වශයෙන් ම ඔහු නුඹගේ පවුලෙන් කෙනෙකු නො වේ. නියත වශයෙන් ම එය (එසේ පැවසීම) දැහැමි නො වන ක්‍රියාවකි. එබැවින් කවර දෙයක් පිළිබඳ නුඹට දැනුමක් නොමැත්තේ ද එය මගෙන් නුඹ නො ඉල්ලනු. නියත වශයෙන් ම නුඹ අඥානයින් අතරින් වීම ගැන මම නුඹට උපදෙස් දෙමි යැයි ඔහු (අල්ලාහ්) පැවසී ය.
47මාගේ පරමාධිපතියාණනි! කවර දෙයක් ගැන මට දැනුමක් නොමැත්තේ ද එවන් දෑ ඔබෙන් ඉල්ලීමෙන් මම ඔබගේ ආරක්ෂාව පතමි. ඔබ මට සමාව දී ඔබ මාහට කරුණා නො කරන්නේ නම් මම අලාභවන්තයින් අතරින් වෙමි යැයි ඔහු පැවසුවේ ය.
48අහෝ නූහ්! අපගෙන් වූ ආශිර්වාදය සමඟ ද ඔබ වෙත හා ඔබ සමඟ සිටි සමූහයන් වෙත වූ අභිවෘද්ධියන් සමඟ ද ඔබ (නැවේ සිට) ගොඩ බසිනු. තවත් සමූහයන්, අපි ඔවුනට භුක්ති විඳින්නට සලස්වන්නෙමු. පසුව අපගෙන් වූ වේදනීය දඬුවමක් ඔවුන් හසු කර ගනු ඇත.
49එය ඔබ වෙත අප දන්වා සිටින ගුප්ත පුවත් අතරිනි. මීට පෙර නුඹ හා නුඹගේ ජනයා එය දැන සිටියේ නැත. එබැවින් නුඹ ඉවසනු. නියත වශයෙන් ම යහපත් අවසානය දේව බිය හැඟීමෙන් යුතුව කටයුතු කරන්නන්හට ය.
50තවද ආද් වෙත ඔවුන්ගේ සහෝදර හූද්ව ද (අපි එව්වෙමු.) මාගේ ජනයිනි! නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. ඔහු හැර නුඹලාට කිසිදු දෙවිඳෙකු නොමැත. නුඹලා බොරු ගොතන්නන් මිස වෙනත් අය නොවතැයි ඔහු පැවසුවේ ය.
51මාගේ ජනයිනි! ඒ වෙනුවෙන් මම නුඹලාගෙන් කුලියක් නො ඉල්ලමි. මාගේ කුලිය මා මැවූ අය වෙත මිස වෙනත් අයෙකු වෙත නැත. එබැවින් නුඹලා වටහා ගත යුතු නො වේ ද?
52තවද මාගේ ජනයිනි! නුඹලා නුඹලාගේ පරමාධිපතිගෙන් සමාව අයැද සිටිනු. පසුව පශ්චාත්තාප වී ඔහු වෙතට යොමු වනු. ඔහු නුඹලා වෙත අහස් ජලය අඛණ්ඩව එවනු ඇත. තවද නුඹලාගේ බලයට බලය වර්ධනය කර දෙනු ඇත. තවද නුඹලා වැරදිකරුවන් ලෙසින් පිටු නො පානු.
53අහෝ හූද්! නුඹ අප වෙත පැහැදිලි සාධකයක් ගෙන ආවේ නැත. තවද නුඹේ කියමන අනුව අපගේ දෙවිවරුන් අපි අතහරින්නන් නො වෙමු. තවද අපි නුඹව විශ්වාස කරන්නන් නො වෙමු යැයි ඔවුහු පැවසුවෝ ය.
54අපගේ ඇතැම් දෙවිවරුන් නුඹට නපුරක් සිදු කරනු ඇතැයි මිස වෙනකක් අපි නො පවසමු. (එවිට ඔහු) "නියත වශයෙන් ම මම අල්ලාහ්ව සාක්ෂියක් ලෙස ගනිමි. (අල්ලාහ් හැර) නුඹලා ආදේශ තබන දැයින් මම ඉවත්වූ කෙනෙකු බවට නුඹලා ද සාක්ෂි දරනු" යැයි (හූද්) පැවැසුවේ ය.
55ඔහු හැර (නුඹලා ආදේශ තබන දැයින් මම ඉවත්වූ කෙනෙකි). එමෙන් ම නුඹලා සියල්ල එක්ව මට කුමන්ත්‍රණ කරනු. පසුව නුඹලා මට අවකාශ නො දෙනු.’ යැයි ඔහු (හූද්) පැවසුවේ ය.
56නියත වශයෙන් ම මම මාගේ පරාධිපති වූ ද නුඹලාගේ පරමාධිපති වූ ද අල්ලාහ් වෙත (සියල්ල) භාර කළෙමි. කිසිදු ජීවියෙකු එහි නළල් කෙස් රොදින් ඔහු හසු කර ගන්නෙකු මිස නැත. නියත වශයෙන් ම මාගේ පරමාධිපති ඍජු මාර්ගය මත සිටින්නේ ය.
57එහෙත් නුඹලා පිටුපෑවෙහු නම් (දැන ගනු) මම නුඹලා වෙත කවර කරුණක් සමඟ එවනු ලැබුවෙමි ද, එය මම නුඹලා වෙත සැබැවින් ම දැන්වූයෙමි. තවද මාගේ පරමාධිපති නුඹලා නො වන පිරිසක් නියෝජිතයින් බවට පත් කරයි. නුඹලා ඔහුට කිසිවකින් හානි සිදු කළ නොහැකි ය. නියත වශයෙන් ම මාගේ පරමාධිපති සියලු දෑ සුරක්ෂා කරන්නා ය.
58තවද අපගේ නියෝගය පැමිණි කල්හි අපගෙන් වූ ආශිර්වාදය තුළින් අපි හූද් හා ඔහු සමඟ වූ විශ්වාස කළවුන් මුදවා ගතිමු. තවද අපි ඔවුන්ව දැඩි දඬුවමින් මුදවා ගතිමු.
59තවද එය ආද්(සමූහයා) ය. ඔවුහු තම පරමාධිපතිගේ වදන් ප්‍රතික්ෂේප කළෝ ය. තවද ඔවුහු ඔහුගේ ධර්ම දූතවරුන්ට පිටුපෑහ. තවද ඔවුහු සෑම දුෂ්ට පාලකයකුගේම නියෝග පිළිපැද්දෝ ය.
60තවද මෙලොවෙහි ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයෙහි ද ශාපය ඔවුහු ලුහු බඳිනු ලැබුවෝ ය. දැන ගනු! නියත වශයෙන් ම ආද් සමූහයා තම පරමාධිපති ප්‍රතික්ෂේප කළෝ ය. දැන ගනු! හූද්ගේ ජනයා වූ ආද්ට විනාශයක් ම විය.
61තවද සමූද් (ජනයා) වෙත ඔවුන්ගේ සහෝදර සාලිහ්ව ද (එව්වෙමු.) මාගේ ජනයිනි! නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. නුඹලාට ඔහු හැර වෙනත් දෙවිඳෙකු නොමැත. නුඹලාව මහපොළොවෙන් බිහි කළේ ඔහු ය. තවද එහි පදිංචි වීමට සැලසුවේ ය. එබැවින් නුඹලා ඔහුගෙන් සමාව ඉල්ලා පශ්චාත්තාප වී ඔහු වෙතට යොමු වනු. නියත වශයෙන් ම මාගේ පරමාධිපති ඉතා සමීප ය; පිළිතුරු දෙන්නා ය.
62‘අහෝ සාලිහ්! මීට පෙර ඔබ අප අතර බලාපොරොත්තු තැබිය හැක්කෙකු විය. අපගේ මුතුන් මිත්තන් නැමදුම් කරන දෑට අප වන්දනාමාන කිරීමෙන් නුඹ අපව වළක්වන්නෙහි ද? නුඹ අප කවර කරුණක් වෙත ඇරයුම් කරන්නෙහි ද ඒ ගැන අවිනිශ්චිත සැකයෙහි නියත වශයෙන් ම අපි පසුවන්නෙමු’ යැයි ඔවුහු පැවසුවෝ ය.
63‘මාගේ ජනයිනි! මාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් මත මම හිඳිමින් ඔහුගෙන් වූ ආශිර්වාදයක් මට ඔහු පිරිනමා තිබිය දී මම ඔහුට පිටුපෑවේ නම් අල්ලාහ්ගෙන් තොරව මට උපකාර කරනුයේ කවුරුන් දැ? යි යන වග නුඹලා සිතා බැලුවෙහු ද? නුඹලා මට අලාභ හානිය මිස වෙනත් කිසිවක් වැඩි කරන්නේ නැත’ යැයි ඔහු පැවසුවේ ය.
64එමෙන් ම අහෝ මාගේ ජනයිනි! මෙය නුඹලාට සංඥාවක් වශයෙන් (දෙන ලද්දා) වූ අල්ලාහ්ගේ ඔටු දෙන ය. එබැවින් මහපොළොවේ උළා කන්නට නුඹලා ඌ අත හැර දමනු. යම් නපුරක් සිදු කිරීමට නුඹලා ඌ ස්පර්ශ නො කරනු. එවිට සමීපයෙන් වූ දඬුවමක් නුඹලාව හසු කර ගනු ඇත.
65එනමුත් ඔවුහු උගේ ගෙල නහර කපා දැමුවෝ ය. එවිට නුඹලා නුඹලාගේ නිවෙස් තුළ දින තුනක් භුක්ති විඳිනු. එය බොරු කළ නොහැකි ප්‍රතිඥාවක් යැයි ඔහු පැවසී ය.
66අපගේ (දඬුවමේ) නියෝගය පැමිණි කල්හි අපගේ ආශිර්වාදය තුළින් හා එදින අවමානයෙන් අපි සාලිහ් හා ඔහු සමඟ වූ විශ්වාස කළවුන්ව මුදවා ගතිමු. නියත වශයෙන් ම ඔබේ පරමාධිපති වන ඔහුය අතිබල සම්පන්න; සර්ව බලධාරී වන්නේ.
67තවද මහා ගිඟුරුම් හඬ අපරාධ කළවුන් හසු කළේ ය. එවිට ඔවුහු උදෑසන තම නිවෙස් තුළ මළ කඳන් බවට පත්ව සිටියහ.
68ඔවුහු එහි කිසිවිටෙක පදිංචි නො වූවක් මෙනි. දැන ගනු. නියත වශයෙන් ම සමූද් (ජනයා) ඔවුන්ගේ පරමාධිපතිව ප්‍රතික්ෂේප කළෝ ය. දැන ගනු! සමූද් (ජනයාට) විනාශයක් ම විය.
69අපගේ දූතයින් ශුභාරංචි සමඟ ඉබ්‍රාහීම් වෙත පැමිණ ‘ශාන්තිය අත් වේවා!’ යැයි පැවසූහ. ඔහු ද ‘ශාන්තිය අත් වේවා!’ යැයි පැවසුවේ ය. එවිට (ආගන්තුකයින් සඳහා) බැඳපු වසු පැටවෙකු ගෙන ඒමට (ඔහුට) වැඩි වේලාවක් ගත නො වීය.
70ඔවුන්ගේ අත් ඒ(ආහාරය) වෙත ළඟා නො වූ බව ඔහු දුටු විට ඔවුන් නාඳුනන අය බව ඔහුට වැටහිණි. ඔවුන් ගැන බියක් දැනුණි. ‘නුඹ බිය නො වනු. නියත වශයෙන් ම අපි ලූත්ගේ ජනයා වෙත එවනු ලැබූවන් වෙමු’ යැයි ඔවුහු පැවසුවෝ ය.
71තවද ඔහුගේ බිරිය ද සිට ගෙන සිටියා ය. (මෙය ඇසූ) ඇය සිනහසුණා ය. එවිට අපි ඇයට ඉස්හාක් පිළිබඳ හා ඉස්හාක්ගෙන් පසු යඃකූබ් පිළිබඳ ශුභාරංචි දැන්වූයෙමු.
72‘අහෝ මාගේ ඛේදය! මම මැහැල්ලියක්ව සිටිය දී සහ මේ මාගේ සැමියා වයෝවෘද්ධයෙකුව සිටිය දී මම දරුවකු ප්‍රසූත කරන්නෙමි ද? නියත වශයෙන් ම එය පුදුම සහගත කරුණකි’ යැයි ඇය කීවා ය.
73අල්ලාහ්ගේ නියෝගය සම්බන්ධයෙන් නුඹ පුදුම වන්නෙහි ද? අල්ලාහ්ගේ ආශිර්වාදය හා භාග්‍යය නිවැසියන් වන නුඹලා සතු වේවා! නියත වශයෙන් ම ඔහු ප්‍රශංසා ලාභී ය; අතිකීර්තිමත් ය යැයි ඔවුහු පැවසුවෝ ය.
74ඉබ්‍රාහීම්ගෙන් බිය පහව ගොස් ශුභාරංචිය ද ඔහු වෙත පැමිණි කල්හි, ලූත්ගේ ජනයා සම්බන්ධයෙන් ඔහු අප සමඟ වාද කරන්නට විය.
75නියත වශයෙන් ම ඉබ්‍රාහීම් ඉතා ඉවසන සුළු කරුණාවන්ත (අල්ලාහ් වෙත) නැඹුරුවන්නෙකි.
76අහෝ ඉබ්‍රාහීම්! ඔබ මෙයින් වැළකෙනු. සැබැවින් ම ඔබගේ පරමාධිපතිගේ නියෝගය පැමිණ ඇත. තවද නියත වශයෙන් ම ඔවුන් වනාහි ඔවුන් වෙත ප්‍රතික්ෂේප කළ නොහැකි දඬුවමක් පැමිණෙන්නට ඇත.
77තවද අපගේ සුර දූතවරුන් ලූත් වෙත පැමිණි කල්හි ඔහු ඔවුන් පිළිබඳ කනස්සල්ලට පත් විය. තවද ඔවුන් පිළිබඳව බලවත් ලෙස පීඩනයට පත් විය. තවද මෙය දරුණු දිනයකි යැයි ඔහු පැවසුවේ ය.
78තවද ඔහුගේ ජනයා ඔහු වෙත (ඔවුන් සමඟ වැරදි ලෙස හැසිරීමට) වේගයෙන් පැමිණියහ. තවද මීට පෙර ද ඔවුන් නපුරුකම් සිදු කරමින් පසු වූහ. මාගේ ජනයිනි! මේ මාගේ දූවරුන් ය. මොවුන් නුඹලාට අතිපිවිතුරු ය. එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. මාගේ ආගන්තුකයින් අතර මා අවමානයට පත් නො කරනු. යහ මග ලැබූ කිසිදු (බුද්ධිමත්) මිනිසෙකු නුඹලා අතරින් නො වේ දැ? යි ඔහු විමසුවේ ය.
79නුඹගේ දූවරුන් සම්බන්ධයෙන් (කිසිදු අවශ්‍යතාවක්) අපට නොමැති බව සැබෑ ලෙසින් නුඹ දන්නෙහි ය. තවද අප අපේක්ෂා කරනුයේ කුමක් දැ? යි ද නුඹ නියත වශයෙන් ම දන්නෙහිය යැයි ඔවුහු පැවසුවෝ ය.
80‘නුඹලාට එරෙහිව (ක්‍රියා කිරීමට) නියත වශයෙන් මට බලයක් තිබුණේ නම් නැතහොත් බලවත් ආධාරකයක් වෙත පිහිට පතන්නට මට හැකි වන්නේ නම්!’ යැයි ඔහු පැවසුවේ ය.
81“අහෝ ලූත්! සැබැවින් ම අපි නුඹගේ පරමාධිපතිගේ දූතයෝ වෙමු. නුඹ වෙත ඔවුන් කිසිවිටක ළඟා නො වන්නෝ ම ය. එබැවින් රාත්‍රියේ කොටසක නුඹගේ පවුල රැගෙන රහසිගතව පිටත්ව යනු. නුඹලා අතරින් කිසිවකු හැරී නො බැලිය යුතු ය. නුඹගේ බිරිය හැර. ඔවුනට අත්වන දෑ නියත වශයෙන් ම ඇයට ද අත්වනු ඇත. නියත වශයෙන් ම ඔවුන්ගේ ප්‍රතිඥත කාලය අලුයම් කාලයයි. අලුයම් කාලය සමීපව නො වේ ද?” යැයි ඔවුහු පැවසූහ.
82අපගේ නියෝගය පැමිණි කල්හි අපි එය (ගම්මානය) උඩු යටිකුරු කළෙමු. තවද ඒ වෙත පිලිස්සුනු ගල්වරුසාවක් වැස්සවීමු.
83(එය) නුඹගේ පරමාධිපති වෙතින් සලකුණු තබනු ලැබූවකි. තවද අපරාධකරුවන්ගෙන් එය දුරස් නො වීය.
84තවද මද්යන් ජනයා වෙත ඔවුන්ගේ සහෝදර ෂුඅයිබ්ව ද (එව්වෙමු.) ‘මාගේ ජනයිනි! නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. නුඹලාට ඔහු හැර වෙනත් කිසිදු දෙවිඳෙකු නොමැත. කිරුම් හා මිනුම්වල අඩු නො කරනු. නියතවශයෙන් ම මම නුඹලා යහපත් තත්ත්වයේ දකිමි. තවද නියතවශයෙන් ම මම සියල්ල ග්‍රහණය කරන දිනයක දඬුවම නුඹලා වෙත ඇති වීම ගැන බිය වෙමි’ යැයි ඔහු පැවසුවේ ය.
85තවද අහෝ මාගේ ජනයිනි! නුඹලා කිරුම් මිනුම් සාධාරණ ලෙසින් පූර්ණවත් කරනු. තවද ජනයාට ඔවුන්ගේ භාණ්ඩවල අඩුපාඩු නො කරනු. තවද මහපොළොවේ කලහකාරීන් ලෙස ඉක්මවා කටයුතු නො කරනු.
86නුඹලා දේවත්වය විශ්වාස කරන්නන් වූයෙහු නම් අල්ලාහ්ගෙන් වූ ශේෂය නුඹලාට උතුම් ය. තවද මම නුඹලා වෙත වූ ආරක්ෂකයකු නො වෙමි.
87අහෝ ෂුඅයිබ්! අපගේ මුතුන් මිත්තන් නමදින දෑ අප අත හැර දැමීමටත් අපගේ වස්තුවල අප කැමති පරිදි අප කටයුතු නො කිරීමටත් නුඹගේ සලාතය නුඹට අණ කරන්නේ ද? සැබැවින් ම නුඹ ඉවසනු සුළු තැනැත්තා ද, යහ මග ගමන් කරන්නා ද වේ යැයි (විහිඵවට) පැවසූහ.
88අහෝ මාගේ ජනයිනි! මම මාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් මත වී තවද ඔහු විසින් යහපත් පෝෂණය මා වෙත පිරිනමා තිබීම ගැන නුඹලා කුමක් සිතන්නෙහු ද? මා නුඹලාට කවර දෙයක් තහනම් කළේ ද එයින් බැහැරව නුඹලාට විරුද්ධව කටයුතු කිරීමට මම අපේක්ෂා නො කරමි. මට හැකි පමණින් (සමාජය) විධිමත් කිරීම මිස වෙනෙකක් මම බලාපොරොත්තු නො වෙමි. මාගේ පිළිගැනීම අල්ලාහ්ගෙන් මිස වෙනෙකෙකුගෙන් නැත. ඔහු වෙත මම (සියල්ල) භාර කළෙමි. තවද ඔහු වෙතට යොමු වෙමි.
89තවද අහෝ මාගේ ජනයිනි! මා සමඟ වූ භේදය නූහ්ගේ ජනයාට හෝ හූද්ගේ ජනයාට හෝ සාලිහ්ගේ ජනයාට හෝ ඇති වූවක් මෙන් දෙයක් නුඹලාට ඇති වීමට තරම් නුඹලාව වැරදිකරුවන් බවට පත් නො කළ යුතුයි. තවද ලූත්ගේ ජනයාට (සිදු වූ දඬුවම) නුඹලාට ඈතක නො වේ.
90තවද නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලා සමාව අයැද සිටිනු. පසුව ඔහු වෙත පශ්චාත්තාප වී යොමු වනු. නියත වශයෙන් ම මාගේ පරමාධිපති අපරිමිත දයාන්විත ය; සෙනෙහෙවන්ත ය.
91අහෝ ෂුඅයිබ්! නුඹ පවසන දැයින් බොහෝමයක් අපට වැටහෙන්නේ නැත. තවද ඔබව අප අතර දුර්වලයකු සේ නියත වශයෙන් ම අපි දකිමු. තවද නුඹේ පවුලේ අය නො වී නම් අපි නුඹට ගල් ගසා මරන්නෙමු. තවද නුඹ අප කෙරෙහි බලවතෙකු නො වේ යැයි ඔවුහු පැවසුවෝ ය.
92අහෝ මාගේ ජනයිනි! අල්ලාහ්ට වඩා නුඹලා වෙත බලවත් වනුයේ මාගේ පවුලේ අය ද? තවද නුඹලා ඔහුව නුඹලාගේ පසුපසින් පිටපැත්තට ගත්තෙහු ය. නියත වශයෙන් ම මාගේ පරමාධිපති නුඹලා කරන දෑ පිළිබඳ සර්ව ප්‍රකාරයෙන් දන්නා ය.
93තවද අහෝ මාගේ ජනයිනි! නුඹලා නුඹලාගේ ස්ථානයේ සිට කටයුතු කරනු. නියත වශයෙන් ම මම ද කටයුතු කරමි. කවුරුන් වෙත අවමානය ගෙන දෙන දඬුවම පැමිණෙන්නේ දැ? යි ද බොරු පවසන්නා කවරෙකු දැ? යි ද නුඹලා මතු දැන ගනු ඇත. තවද නුඹලා බලාපොරොත්තුවෙන් සිටිනු. නියත වශයෙන් ම මම නුඹලා සමඟ බලාපොරොත්තුවෙන් සිටින්නෙක්මි.
94තවද අපගේ නියෝගය පැමිණි කල්හි අපි ෂුඅයිබ් හා ඔහු සමඟ විශ්වාස කළවුන්ව අපගේ ආශිර්වාදයෙන් අපි මුදවා ගත්තෙමු. තවද මහා ගිගුරුම් හඬ අපරාධ කළවුන් ග්‍රහණය කළේ ය. එවිට ඔවුහු ඔවුන්ගේ නිවෙස් තුළ මළ කඳන් බවට උදෑසන පත් වූහ.
95ඔවුහු එහි වාසය නො කළාක් මෙනි. දැන ගනු! සමූද් ජනයා දුරස් වූවාක් මෙන් මද්යන් වාසීන් ද දුරස් වූහ.
96තවද සැබැවින් ම අපි අපගේ වදන් හා පැහැදිලි සාධකය සමඟ මූසාව එව්වෙමු.
97ෆිර්අවුන් හා ඔහුගේ ප්‍රධානීන් වෙත. එහෙත් ඔවුහු ෆිර්අවුන්ගේ නියෝගය පිළිපැද්දාහ. තවද ෆිර්අවුන්ගේ නියෝගය නිවැරදි වූවක් නො වීය.
98මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහු (ෆිර්අවුන්) ඔහුගේ ජනයාට පෙරමුණ ගනු ඇත. තවද ඔවුන්ව (නිරා) ගින්න වෙත ගෙන යනු ඇත. තවද එසේ ගෙන යනු ලබන ස්ථානය නපුරු විය.
99තවද මෙහි දී ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දී ද ශාපයෙන් ඔවුහු ලුහුබඳිනු ලැබුවෝ ය. තවද ප්‍රදානය කරනු ලැබූ ප්‍රදානය නපුරු විය.
100මේවා අපි නුඹ වෙත කියවා පෙන් වන පුරාණ ගම්වාසීන්ගේ පුවත් අතරින් වේ. ඒවායින් ශේෂව පවතින දෑ ද, මුලිනුපුටා දමනු ලැබූ දෑ ද ඇත.
101තවද අපි ඔවුනට අපරාධ නො කළෙමු. එනමුත් ඔවුහු ඔවුන්ට ම අපරාධ කර ගත්තෝ ය. නුඹේ පරමාධිපතිගේ නියෝගය පැමිණි කල්හි අල්ලාහ් හැර දමා ඔවුන් අයැද සිටි ඔවුන්ගේ දෙවිවරුන් ඔවුනට කිසිදු ඵලක් නො වීය. තවද ඔවුහු අලාභ හානිය මිස වෙනෙකක් ඔවුනට අධික නො කළෝ ය.
102තවද ගමක අපරාධ සිදු වෙමින් තිබිය දී එය නුඹේ පරමාධිපති ග්‍රහණය කළ විට ඔහුගේ ග්‍රහණය එලෙස ය. නියත වශයෙන් ම ඔහුගේ ග්‍රහණය දැඩි වේදනා සහගත ය.
103නියත වශයෙන් ම මතු ලොවෙහි දඬුවමට බිය වන්නන්හට එහි සංඥාවක් ඇත. එය ජනයා ඒ වෙනුවෙන් එක්රැස් කරනු ලබන දිනයකි. තවද එය ඉදිරිපත් කරවනු ලබන දිනයකි.
104තවද නියමිත කාලයකට මිස අපි එය ප්‍රමාද නො කරන්නෙමු.
105එය පැමිණෙන දින කිසිදු ආත්මයක් ඔහුගේ අවසරයෙන් තොරව කතා නො කරනු ඇත. ඔවුන් අතර අභාග්‍යවන්තයා ද, භාග්‍යවන්තයා ද සිටියි.
106අභාග්‍යවන්තයින් වූ කලී (ඔවුන්) නිරයෙහි ය. එහි ඔවුනට කෙඳිරි ගෑම හා මොර දීම ඇත.
107අහස් හා මහපොළොව පවතින තාක්කල් ඔවුන් එහි සදාතනිකයින් ය. එහෙත් නුඹගේ පරමාධිපති අභිමත කළේ නම් මිස. නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති ඔහු සිතන දෑ සිදු කරන්නා ය.
108තවද භාග්‍ය ලැබූවන් වූ කලී (ඔවුන් ස්වර්ග) උයන් තුළ ය. අහස් හා මහපොළොව පවතින තාක්කල් (ඔවුන්) එහි සදාතනිකයින් ය. එහෙත් නුඹගේ පරමාධිපති අභිමත කළේ නම් මිස. එය නො නවතින ත්‍යාගයක් වශයෙනි.
109එබැවින් (නබිවරය!) මොවුන් නැමදුම් කරන දෑ පිළිබඳ සැකයෙහි නුඹ නො සිටිනු. මීට පෙර ඔවුන්ගේ මුතුන් මිත්තන් නැමදුම් කරන්නාක් මෙන් මිස ඔවුන් නැමදුම් නො කරති. සැබැවින් ම අපි ඔවුන්ගේ කොටස කිසිදු අඩුවකින් තොරව පූර්ණව පිරිනමන්නන් වෙමු.
110තවද සැබැවින් ම අපි මූසාට දේව ග්‍රන්ථය පිරිනැමුවෙමු. එහෙත් එහි මත භේදයට ලක් විය. තවද නුඹගේ පරමාධිපතිගෙන් පෙරටු වූ වදනක් නො වී නම්, ඔවුන් අතර තීන්දු දෙනු ලබන්නට තිබුණි. තවද නියත වශයෙන් ම ඔවුන් ඒ පිළිබඳව අවිශ්වාසය ඇති කරවන සැකයෙහි සිටිති.
111තවද නියත වශයෙන් ම සෑම කෙනෙකුට ම ඔවුන්ගේ ක්‍රියාවන්ට නුඹගේ පරමාධිපති ඔවුනට නියත වශයෙන් ම පූර්ණව (ප්‍රතිඵල) දෙනු ඇත. නියත වශයෙන් ම ඔහු ඔවුන් කරන දෑ පිළිබඳව අභිඥානවන්ත ය.
112එබැවින් නුඹට අණ කරනු ලැබූ පරිදි නුඹ හා නුඹ සමඟ පශ්චාත්තාප වී යොමු වූවන් ස්ථාවරව සිටිනු. තවද නුඹලා සීමාව ඉක්මවා කටයුතු නො කරනු. නියත වශයෙන් ම ඔහු නුඹලා කරන දෑ පිළිබඳව සර්ව නිරීක්ෂක ය.
113තවද නුඹලා අපරාධ කළවුන් වෙත නැඹුරු නො වනු. එවිට (නිරා) ගින්න නුඹලාව ස්පර්ශ කරනු ඇත. අල්ලාහ්ගෙන් තොරව භාරකරුවන් කිසිවකු නුඹලාට නොමැත. පසුව නුඹලා උදව් කරනු නො ලබන්නෙහු ය.
114තවද දහවල් දෙකෙළවරෙහි හා රාත්‍රියෙන් කොටසක නුඹලා සලාතය විධිමත්ව ඉටු කරනු. නියත වශයෙන් ම දැහැමි දෑ නපුරු දෑ පහ කර දමයි. එය මෙනෙහි කරන අයහට මෙනෙහි කිරීමකි.
115තවද නුඹ ඉවසා දරා ගනු. නියත වශයෙන් ම අල්ලාහ් දැහැමියන්ගේ ප්‍රතිඵල නිෂ්ඵල නො කරනු ඇත.
116ඔබලාට පෙර සිටි පරම්පරාවන් අතරින් මහපොළොවේ කලහකම් වළක්වාලන බුද්ධිමතුන් සිටිය යුතු නො වේ ද? නමුත් ඔවුන්ගෙන් අපි මුදවා ගත් සුළු පිරිසක් හැර (අන් අය අපරාධ කළවුන් වූවෝ ය.) තවද අපරාධ කළවුන් ඔවුන් කවර දෙයක සැප විඳිනු ලැබුවේද එය පිළිපදිමින් සිටියෝ ය. තවද ඔවුහු වැරදිකරුවන් බවට පත් වූවෝ ය.
117තවද අපරාධ කරමින් සිටි ගමක් එහි වැසියන් ප්‍රතිසංවිධායකයින් ලෙස සිටිය දී එය විනාශ කිරීමට නුඹගේ පරමාධිපති නො වීය.
118තවද නුඹගේ පරමාධිපති අභිමත කළේ නම් සියලු ජනයා එක ම සමූහයක් බවට පත් කරන්නට තිබුණි. තවද ඔවුහු භේද ඇති කර ගන්නවුන් ලෙස ම සිටිති.
119එහෙත් නුඹගේ පරමාධිපති ආශිර්වාද කළ අය හැර. තවද ඒ වෙනුවෙන් ම ඔහු ඔවුන්ව මැව්වේ ය. තවද ජින්වරුන් හා මිනිසුන් යන දෙපිරිසගෙන් නිරය පුරවන්නෙමි යන නුඹගේ පරමාධිපතිගේ වදන පූර්ණවත් විය.
120තවද ධර්ම දූතයින්ගේ පුවත් අතරින් නුඹගේ හදවත් කවර කරුණක් මඟින් අපි ස්ථාවර කළෙමු ද එවන් සෑම දෙයක් ම නුඹ වෙත දන්වා සිටිමු. තවද මෙහි සත්‍යය ද දේවත්වය විශ්වාස කරන්නන්හට උපදෙසක් හා මෙනෙහි කිරීමක් ද නුඹ වෙත පැමිණ ඇත.
121තවද ‘නුඹලා නුඹලාගේ ස්ථානයේ සිට ක්‍රියා කරනු. සැබැවින් ම අපි ද ක්‍රියා කරන්නන් වෙමු’ යැයි විශ්වාස නො කරන්නන්හට (නබිවරය!) නුඹ පවසනු.
122තවද නුඹලා බලාපොරොත්තුවෙන් සිටිනු. නියත වශයෙන් ම අපි ද බලාපොරොත්තුවන්නන් වෙමු.
123අහස් හා මහපොළොවේ ගුප්ත දෑ අල්ලාහ් සතු ය. සියලු කරුණු යොමු කරනු ලබනුයේ ඔහු වෙතට ම ය. එබැවින් නුඹ ඔහුට නැමදුම් කරනු. තවද ඔහු වෙත සියල්ල භාර කරනු. නුඹගේ පරමාධිපති නුඹලා කරන දෑ පිළිබඳව අනවධානියෙකු නො වේ.