الحشر
The Gathering • 24 ayahs • Medinan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ
1අහස්හි ඇති දෑ හා මහපොළොවෙහි ඇති දෑ අල්ලාහ්ව සුවිශුද්ධ කරති. තවද ඔහු සර්ව බලධාරී ය; මහා ප්‍රඥාවන්ත ය.
2ධර්ම ග්‍රන්ථ ලත් ජනයා අතරින් දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් ඔවුන්ගේ නිවෙස්වලින් පළමු පහරදීමේ දී පිටුවහල් කළේ ඔහු ය. ඔවුන් පිටුවහල් වී යනු ඇතැයි නුඹලා නො සිතූහ. තවද තම බලකොටු අල්ලාගෙන් තමන් ආරක්ෂා කරනු ඇතැයි ඔවුහු සිතුවෝ ය. එවිට අල්ලාහ්(ගේ ප්‍රකෝපය) ඔවුන් නො සිතූ පරිදි ඔවුන් වෙත පැමිණියේ ය. ඔවුන්ගේ සිත් තුළ බිය ඇති කළේ ය. එහෙයින් ඔවුන්ගේ නිවෙස් ඔවුන්ගේම අත්වලින් හා දේව විශ්වාසවන්තයින්ගේ අත්වලින් විනාශ කර දැමුවෝ ය. අහෝ ප්‍රබුද්ධ ජනයිනි! (මෙයින්) නුඹලා පාඩම් ලබනු.
3තවද එසේ පිටුවහල් කිරීම ඔවුනට අල්ලාහ් නියම කර නො තිබුණේ නම් මෙලොවෙහිම ඔහු ඔවුනට සැබැවින් ම දඬුවම් කරන්නට තිබුණි. තවද ඔවුනට මතු ලොවෙහි (නිරා) ගින්නේ දඬුවම ඇත.
4එය ඔවුහු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට විරුද්ධව ක්‍රියා කළ බැවිණි. තවද කවරෙකු අල්ලාහ්ට විරුද්ධ වන්නේ ද එවිට නියත වශයෙන් ම අල්ලාහ් දඬුවම් දීමෙහි දැඩි ය.
5නුඹලා යම් රට ඉඳි ගසක් කපා දැමුව ද එසේ නැතහොත් එය එහි මුල් මත තිබෙන්නට හැරිය ද එය අල්ලාහ්ගේ අනුමැතියෙනි. තවද ඔහු දුෂ්ඨයින් නින්දාවට පත් කරනු පිණිස ය.
6ඔවුන්ගෙන් තම දූතයාණන්හට අල්ලාහ් කවර දෙයක් පිරිනැමූවේද ඒ(වා ලබා ගැනීම) සඳහා නුඹලා අශ්වයින් හෝ ඔටුවන් හෝ දක්කාගෙන ගියේ නැත. එහෙත් අල්ලාහ් තමන් අභිමත කරන අය වෙත තම දූතවරුන් පවරනු ඇත. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තා ය.
7ගම් වාසීන්ගෙන් අල්ලාහ් තම දූතයාණන්ට යුද සම්පත් වශයෙන් ලබා දුන් දෑ වනාහි එය අල්ලාහ්ට ද ඔහුගේ දූතයාණන්ට ද සමීප ඥාතීන්ට ද අනාථයින්ට ද, දුගියන්ට ද, මගියන්ට ද හිමි ය. එය නුඹලා අතරින් වූ ධනවතුන් අතර පමණක් පරිහරණය නො වනු පිණිස ය. තවද රසූල්වරයා නුඹලාට කුමක් පිරිනැමුවේ ද එය නුඹලා ගනු. තවද ඔහු නුඹලාට යමක් වැළැක්වූයේ ද නුඹලා වැළකී සිටිනු. තවද අල්ලාහ්ට බිය බැතිමත් වනු. නියත වශයෙන් ම අල්ලාහ් දඬුවම් දීමෙහි දැඩි ය.
8ඔවුන්ගේ (උපන්) නිවෙස්වලින් හා ඔවුන්ගේ වස්තුවෙන් පිටුවහල් කරනු ලැබූ දිළිඳු (මුහාජිර්වරු)න්ට ද (කොටසක්) හිමි ය. ඔවුහු අල්ලාහ්ගෙන් වූ අනුග්‍රහය හා තෘප්තිය සොයති. තවද ඔවුහු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට උදව් කරති. ඔවුහු මය සත්‍යවාදීහු.
9තවද (මදීනාව) වාසස්ථාන බවට පත් කර ගත් ඔවුනට පෙර විශ්වාසය ඇති කර ගත් අයට ද (අන්සාරිවරුන්ටද) කොටසක් හිමි ය. උපන් දේශයෙන් නික්ම වී ඔවුන් වෙත පැමිණි (මුහාජිර්) අයව ඔවුහු ප්‍රිය කරති. ඔවුනට දෙනු ලැබූ දෑ පිළිබඳව අවශ්‍යතාවක් ඔවුන්ගේ සිත් තුළ දකින්නට නො වීය. තමන්ට අවශ්යතාවක් තිබුණ ද තමන්ට වඩා ඔවුනට මුල්තැන දෙති. කවරෙකුගේ සිත මසුරුකමින් ආරක්ෂා කරනු ලබන්නේ ද ඔවුහු මය ජයග්‍රාහකයෝ.
10තවද ඔවුනට පසුව පැමිණියවුන් ‘අපගේ පරමාධිපතියාණනි! අප හා දේව විශ්වාසයෙන් අපට පෙර ඉකුත්ව ගිය අපගේ සහෝදරයින්ට සමාව දෙනු මැනව! විශ්වාස කළවුන් පිළිබඳව ද්වේෂයක් අපගේ සිත් තුළ ඇති නො කරනු මැනව! අපගේ පරමාධිපතියාණනි! නියත වශයෙන් ම නුඹ සෙනෙහෙවන්ත ය; මහා කරුණාන්විතය යැයි පවසති.
11“නුඹලා බැහැර කරනු ලබන්නෙහු නම් අප ද නුඹලා සමඟ බැහැර වන්නෙමු. නුඹලා විෂයයෙහි කිසිවිටෙක කිසිවකුට අපි අවනත නො වන්නෙමු. නුඹලා පහර දෙනු ලැබුවෙහු නම් අපි නුඹලාට උදව් කරන්නෙමු” යැයි ධර්ම ග්‍රන්ථ ලැබූවන් අතරින් ප්‍රතික්ෂේප කළා වූ ඔවුන්ගේ සහෝදරයින්ට පවසන කුහකයින් දෙස නුඹ නො දුටුවෙහි ද? තවද නියත වශයෙන් ම ඔවුහු බොරුකාරයෝ යැයි අල්ලාහ් සාක්ෂි දරයි.
12ඔවුන් බැහැර කරනු ලැබුවේ නම් ඔවුන් සමඟ (කුහකයින් වන) මොවුහු බැහැර නො වෙති. තවද ඔවුනට පහර දෙනු ලැබුවේ නම් මොවුහු ඔවුනට උදව් නො කරති. සැබැවින් ම ඔවුහු මොවුනට උදව් කළේ නම්, ඔවුහු ආපස්සට හැරී යනු ඇත. පසුව ඔවුහු උදව් කරනු නො ලබති.
13අල්ලාහ්ට වඩා නුඹලා කෙරෙහි දැඩි බියක් ඔවුන්ගේ හදවත් තුළ පවතී. එය නියත වශයෙන් ම ඔවුන් වටහා නො ගන්නා පිරිසක් බැවිනි.
14ආරක්ෂිත ගම්මානයන් තුළ සිට හෝ බැමිවලට පසුපසින් සිට හෝ මිස නුඹලා සමඟ එක්ව ඔවුහු සටන් නො කරති. ඔවුන්ගේ සතුරුකම ඔවුන් අතර ප්‍රබල ය. ඔවුන් එක්ව සිටිනු ඇතැයි නුඹ සිතන්නෙහි ය. එහෙත් ඔවුන්ගේ හදවත් භින්න වී ඇත. එය ඔවුන් අවබෝධ කර ගන්නා පිරිසක් නො වන බැවිනි.
15ඔවුහු ඔවුනට සුළු කලකට පෙර ඔවුන්ගේ විෂයයෙහි වූ දඬුවම භුක්ති විඳි අය මෙනි. තවද ඔවුනට වේදනීය දඬුවමක් ද ඇත.
16(කුහකයෝ) ෂෙයිතාන්ගේ උපමාවට සමාන ය. එනම් “නුඹ ප්‍රතික්ෂේප කරනු” යැයි ඔහු මිනිසාට කී විට එසේ (මිනිසා වන) ඔහු ප්‍රතික්ෂේප කළ කල්හි “නියත වශයෙන් ම මම නුඹෙන් ඉවත් වූයෙක්මි. ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ්ට නියත වශයෙන් ම මම බිය වෙමි” යැයි ඔහු (ෂෙයිතාන්) පවසයි.
17ඔවුන් දෙදෙනාගේ අවසානය, නියත වශයෙන් ම ඔවුන් දෙදෙනා (නිරා) ගින්නට වනු ඇත. ඔවුහු එහි සදාතනිකයින් ය. තවද එය අපරාධකරුවන්ගේ ප්‍රතිවිපාකයයි.
18අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද සෑම ආත්මයක් ම හෙට දිනට තමා ඉදිරිපත් කළේ කුමක්දැ යි බලත්වා! තවද නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. නියත වශයෙන් ම අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳව අභිඥානවන්ත ය.
19තවද නුඹලා අල්ලාහ්ව අමතක කළවුන් මෙන් නො වනු. එහෙයින් ඔහු ඔවුන් ගැන ඔවුනට ම අමතක කෙරෙව්වේ ය. ඔවුහු මය දුෂ්ඨයෝ.
20(නිරා) ගින්නේ වාසීහු හා (ස්වර්ග) උයනේ වාසීහු සමාන නො වෙති. ස්වර්ග උයනේ වාසීහු වන ඔවුහු මය ජයග්‍රාහකයෝ.
21මෙම කුර්ආනය අපි කන්දක් මතට පහළ කළෙමු නම් අල්ලාහ් ගැන වූ බිය හේතුවෙන් එය දෙදරා යමින් යටහත් වනු නුඹ දකිනු ඇත. එම උපමාවන් ජනයා වටහා ගත හැකි වනු පිණිස ඒවා අපි ඔවුනට ඉදිරිපත් කරන්නෙමු.
22ඔහුය අල්ලාහ්. ඔහු වනාහි ඔහු හැර වෙනත් කිසිදු දෙවිඳෙකු නොමැත. ගුප්තය හා දෘශ්‍යමාන දෑ පිළිබඳ සර්ව ඥානී ය. ඔහු අපරමිත දයාන්විත ය; අසමසම කරුණාන්විත ය.
23ඔහුය අල්ලාහ්. ඔහු වනාහි ඔහු හැර වෙනත් කිසිදු දෙවිඳෙකු නොමැත. ඔහු රජු ය. පාරිශුද්ධ ය. සාමය ඇති කරන්නා ය. අභයදායී ය. සංරක්ෂක ය. සර්ව බලධාරී ය. මහෝදරයාණන් ය. ඔවුන් ආදේශ කරන දැයින් අල්ලාහ් සුවිශුද්ධ ය.
24ඔහු අල්ලාහ් ය. මැවුම්කරු ය. උත්පාදක ය. මූර්තිකරු ය. ඔහුට අලංකාර නාමයන් ඇත. අහස්හි හා මහපොළොවේ ඇති දෑ ඔහු සුවිශුද්ධ කරති. තවද ඔහු සර්ව බලධාරී ය; මහා ප්‍රඥාවන්ත ය.