الشورى
The Consultation • 53 ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ
1හා මීම්.[1]
2අයින් සීන් කාෆ්.
3මහා ප්‍රඥාවන්ත සර්ව බලධාරී අල්ලාහ් නුඹ වෙත හා නුඹට පෙර වූ අය වෙත දේව පණිවිඩ දන්වා සිටිනුයේ එලෙස ය.
4අහස්හි ඇති දෑ හා මහපොළොවෙහි ඇති දෑ ඔහු සතු ය. තවද ඔහු අති උත්තරීතර ය; අති ශ්‍රේෂ්ඨ ය.
5අහස්, ඒවාට මතුපිටින් පැළී යන්නට බලයි. තවද මලක්වරුන් ඔවුන්ගේ පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් සුවිශුද්ධ කරති. තවද මහපොළොවේ සිටින අය වෙනුවෙන් ඔවුහු සමාව අයැද සිටිති. දැන ගනු! නියත වශයෙන් ම අල්ලාහ් වන ඔහු අතික්ෂමාශීලී ය; මහාකරුණාන්විත ය.
6තවද ඔහු හැර දමා වෙනත් අය භාරකරුවන් ලෙස ගත් අය වනාහි අල්ලාහ් ඔවුන් කෙරෙහි අවධානයෙන් බලා සිටින්නා ය. තවද නුඹ ඔවුන් වෙත භාරකරුවකු නො වේ.
7තවද මව් නගරයට හා ඒ අවට සිටින්නන්හට නුඹ අවවාද කරනු පිණිසද එහි කිසිදු සැකයක් නැති එක්රැස් කරන දිනය ගැන නුඹ අවවාද කරනු පිණිස ද අපි නුඹ වෙත අරාබි බසින් වූ පාරායනයක් දන්වා සිටියේ එලෙස ය. (එදින) පිරිසක් ස්වර්ගයෙහි ය. තවත් පිරිසක් ඇවිළෙන (නිරා) ගින්නෙහි ය.
8තවද අල්ලාහ් අභිමත කළේ නම් ඔවුන් එක ම සමූහයක් බවට පත් කරන්නට තිබුණි. එහෙත් ඔහු අභිමත කරන අය ඔහුගේ කරුණාව තුළට ඇතුළත් කරනු ඇත. තවද, අපරාධකරුවන්හට කිසිදු ආරක්ෂකයෙකු හෝ උදව්කරුවෙකු හෝ නැත.
9එසේ නැතහොත් ඔහු හැර දමා සෙසු අය ඔවුහු භාරකරුවන් ලෙස ගත්තෝ ද? අල්ලාහ් වන ඔහු මය භාරකරු, තවද ඔහු මළවුන්ට ජීවය දෙයි. තවද ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තා ය.
10නුඹලා එහි කවර දෙයක් සම්බන්ධයෙන් මතභේද ඇති කරගත්තේ ද එහි තීන්දුව අල්ලාහ් වෙත ය. එයයි මාගේ පරමාධිපති වන අල්ලාහ්. ඔහු කෙරෙහි මම භාර කළෙමි. තවද ඔහු වෙත ම මම යොමු වෙමි (යැයි නබිවරය! නුඹ පවසනු).
11(ඔහු) අහස් හා මහපොළොවේ නිර්මාපක ය. නුඹලා සඳහා නුඹලා තුළින් ම යුගල ද එමෙන් ම ගොවිපළ සතුන් අතරින් යුගල ද ඔහු ඇති කළේ ය. එහි නුඹලාව ඔහු බිහි කරයි. ඔහු මෙන් කිසිවෙක් නැත. තවද ඔහු සර්ව ශ්‍රාවක ය; සර්ව නිරීක්ෂක ය.
12අහස් හා මහපොළොවේ (පෝෂණ සම්පත් හි) යතුරු ඔහු සතු ය. ඔහු අභිමත කරන අයට පෝෂණ සම්පත් ව්‍යාප්ත කරයි. තවද ඔහු සීමා ද කරයි. නියත වශයෙන් ම ඔහු සියලු දෑ පිළිබඳව සර්ව ඥානී ය.
13කවර දෙයක් පිළිබඳව ඔහු නූහ්ට උපදෙස් දුන්නේ ද එය නුඹලාට ද ඔහු දහම්ගත කළේ ය. තවද නුඹ වෙත දන්වා සිටි දෑ ද ඉබ්රාහීම්, මූසා, ඊසාට අපි කවර දෙයක් උපදෙස් දුන්නේ ද එය ද වනාහි “නුඹලා දහම ඍජු ලෙස ස්ථාපිත කරනු, එහි නුඹලා වෙන්ව නො යනු” යනුවෙනි. නුඹ කවර දෙයක් වෙත ඔවුන් ඇරයුම් කරන්නේ ද එය ආදේශකයින්ට බැරූරැම් විය. තමන් අභිමත කරන අය අල්ලාහ් ඔහු වෙත තෝරා ගනී. තවද (පසුතැවිලි වී) හැරෙන අයට ඔහු වෙතට ඔහු මග පෙන්වයි.
14තවද ඔවුන් වෙත ඥානය පැමිණීමෙන් පසුව ඔවුන් අතර තිබූ ඊර්ෂ්‍යාව හේතුවෙන් මිස ඔවුහු (දහමෙහි) වෙන්ව නො ගියෝ ය. තවද ඔබේ පරමාධිපතිගෙන් වූ ප්‍රකාශයක් නියමිත කාලයක් දක්වා පෙරටු නො වූයේ නම් ඔවුන් අතර තීන්දු කරනු ලබන්නට තිබුණි. තවද සැබැවින් ම ඔවුන්ගෙන් පසුව ධර්ම ග්‍රන්ථය උරුම කර දෙනු ලැබූ අය ඒ පිළිබඳව අවිශ්වාසය ඇති කරන සැකයෙහි සිටිති.
15එහෙයින් (නබිවරය!) නුඹ ඇරයුම් කරනු. තවද නුඹ අණ කරනු ලැබූ සේම ස්ථාවරව සිටිනු. ඔවුන්ගේ ආශාවන් ඔබ අනුගමනය නො කරනු. තවද නුඹ මෙසේ පවසනු “ධර්ම ග්‍රන්ථයෙන් අල්ලාහ් පහළ කළ දෑ පිළිබඳව මම විශ්වාස කළෙමි. තවද නුඹලා අතර යුක්තිගරුකව කටයුතු කිරීමට මම අණ කරනු ලැබුවෙමි. අල්ලාහ් අපගේ පරමාධිපති ය. තවද නුඹලාගේද පරමාධිපති ය. අපට අපගේ ක්‍රියාවන්. තවද නුඹලාට නුඹලාගේ ක්‍රියාවන්. මෙහි අප අතර හා නුඹලා අතර කිසිදු තර්කයක් නැත. අල්ලාහ් අප එක්රැස් කරයි. තවද නැවත යොමු කරනු ලබන ස්ථානය ඔහු වෙත ම ය.”
16තවද ඔහුට පිළිතුරු දෙනු ලැබුවායින් පසු අල්ලාහ් විෂයයෙහි වාද කරන්නන් වනාහි ඔවුන්ගේ වාදය ඔවුන්ගේ පරමාධිපති අබියස නිෂ්ඵල ය. තවද ඔවුන් වෙත කෝපය ඇත. තවද ඔවුනට දැඩි දඬුවමක් ද ඇත.
17සත්‍යයෙන් යුතුව ධර්ම ග්‍රන්ථය හා (ෂරීආව නම්) තුලාව පහළ කළේ අල්ලාහ් ය. අවසන් හෝරාව සමීපයෙන් විය හැකි යැයි නුඹව දැනුවත් කරනුයේ කුමක් ද?
18ඒ (අවසන් හෝරාව) පිළිබඳ විශ්වාස නො කරන්නෝ එය ඉක්මණින් පතති. තවද විශ්වාස කරන්නෝ ඒ ගැන බිය වන්නෝ වෙති. නියත වශයෙන් ම එය සැබෑවක් යැයි ඔවුහු දනිති. දැන ගනු! නියත වශයෙන් ම අවසන් හෝරාව පිළිබඳ තර්ක කරන්නෝ අන්ත මුළාවෙහි ය.
19අල්ලාහ් තම ගැත්තන්හට මෛත්‍රි ය. ඔහු අභිමත කරන අයට පෝෂණය පිරිනමයි. තවද ඔහු සර්ව ශක්තිය ඇති සර්ව බලධාරියාණන් ය.
20කවරෙකු මතු ලොවෙහි ඵලදාව අපේක්ෂා කරමින් සිටියේ ද අපි ඔහුගේ ඵලදාවෙහි වර්ධනය ඇති කරමු. තවද කවරෙකු මෙලොව ඵලදාව අපේක්ෂා කරමින් සිටියේ ද අපි ඔහුට එයින් පිරිනමන්නෙමු. එහෙත් මතු ලොවෙහි ඔහුට කිසිදු කොටසක් නැත.
21අල්ලාහ් කවර දෙයක් සම්බන්ධයෙන් අනුමැතිය නො දුන්නේ ද එවන් දෙයක් ඔවුන් සඳහා දහම්ගත කළ හවුල්කරුවෝ ඔවුනට වෙත් ද? තවද පැහැදිලි ප්‍රකාශය නො වී නම් ඔවුන් අතර තීන්දු කරනු ලබන්නට තිබුණි. තවද නියත වශයෙන් ම අපරාධකරුවන් වන ඔවුනට වේදනීය දඬුවමක් ඇත.
22අපරාධකරුවන් තමන් ඉපැයූ දෑ පිළිබඳ බියෙන් පසුවන්නන් ලෙස ඔබ දකින්නෙහි ය. තවද එය ඔවුනට සිදු වන්නකි. තවද දේවත්වය විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුන් ස්වර්ග උයන්වල ය. ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුන් අභිමත කරන දෑ ඔවුනට ඇත. එයයි අතිමහත් භාග්‍ය ය.
23එය දේවත්වය විශ්වාස කොට යහකම් කළ තම ගැත්තන්හට අල්ලාහ් ශුභාරංචි දන්වා සිටින දෑ ය. “සමීප ඥාතීත්වය තුළ ඇති වන ආදරය මිස වෙනත් කිසිදු කුලියක් ඒ වෙනුවෙන් මම නො ඉල්ලමි” යැයි (නබිවරය!) නුඹ පවසනු. තවද කවරෙකු යහපතක් උපයන්නේ ද අපි ඔහුට එහි යහකම වර්ධනය කරමු. නියත වශයෙන් ම අල්ලාහ් අතික්ෂමාශීලී ය; ගුණගරුක ය.
24එසේ නැතහොත් “ඔහු (නබිවරයා) අල්ලාහ් වෙත බොරුවක් ගෙතුවේ යැ”යි ඔවුහු පවසන්නෝ ද? (නබිවරය!) අල්ලාහ් අභිමත කරන්නේ නම් ඔබේ හදවත මත ඔහු මුද්‍රා තබයි. තවද අල්ලාහ් අසත්‍යය මකා දමයි. තවද ඔහුගේ වදන් තුළින් සත්‍යය තහවුරු කරයි. නියත වශයෙන් ම ඔහු හදවත් තුළ ඇති දෑ පිළිබඳව සර්ව ඥානී ය.
25තවද ඔහු තම ගැත්තන්ගෙන් පශ්චාත්තාපය පිළිගන්නා ය. තවද ඔහු පාපකම්වලට සමාව දෙයි. තවද නුඹලා සිදු කරන දෑ ඔහු දනී.
26විශ්වාස කොට යහකම් සිදු කළවුන්ට ඔහු පිළිතුරු දෙයි. තවද ඔහුගේ භාග්‍ය ඔහු ඔවුනට අධික කරයි. තවද දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් වන ඔවුනට දැඩි දඬුවමක් ඇත.
27තවද අල්ලාහ් තම ගැත්තන්හට පෝෂණ සම්පත් විස්තීරණ කළේ නම් මහපොළොවෙහි ඔවුහු සීමාව ඉක්මවා යනු ඇත. එහෙත් ඔහු අභිමත කරන ප්‍රමාණයක් පහළ කරයි. නියත වශයෙන් ම ඔහු තම ගැත්තන් පිළිබඳව අභිඥානවන්ත ය; සර්ව නිරීක්ෂක ය.
28තවද ඔවුන් (මිනිසුන්) බලාපොරොත්තු සුන් කර ගත් පසු වර්ෂාව පහළ කරනුයේ ඔහු ය. තවද ඔහුගේ කරුණාව ඔහු ව්‍යාප්ත කරයි. තවද ප්‍රශංසාලාභී භාරකරු ඔහු ම ය.
29අහස් හා මහපොළොව මැවීමත් ඒ දෙකෙහි ජීවීන් විසිරුවා හැර තිබීමත් ඔහුගේ සංඥා අතරිනි. තවද ඔහු අභිමත කරන විට ඔවුන් රැස් කිරීමට ශක්තිය ඇත්තා ය.
30තවද යම් දුර්භාග්‍යයක් නුඹලාට ඇති වූයේ ද එය නුඹලාගේ අත් ඉපැයූ දෑ හේතුවෙනි. තවද ඔහු (පාපකම් අතරින්) බොහෝ දෑට සමාව දෙයි.
31තවද නුඹලා මහපොළොවේ (අල්ලාහ්ව) පරාජයට පත් කරන්නන් නො වේ. තවද අල්ලාහ්ගෙන් තොරව නුඹලාට කිසිදු ආරක්ෂකයෙකු හෝ උදව් කරුවෙකු හෝ නැත.
32තවද මහා කඳු මෙන් මුහුදෙහි ගමන් කරන යාත්‍රා ද ඔහුගේ සංඥා අතරිනි.
33ඔහු අභිමත කරන්නේ නම් සුළඟ නවතාලයි. එවිට ඒ (මුහුද) මතු පිට ඒවා නිසංසල බවට පත් වනු ඇත. නියත වශයෙන් ම අධික ලෙස ගුණගරුක මහත් සේ ඉවසිලිවන්ත සියල්ලන්හට එහි සංඥා ඇත.
34එසේ නැතහොත් ඔවුන් (පාපතරයින්) උපයා ගත් දෑ හේතුවෙන් ඔහු ඒවා විනාශ කර දමනු ඇත. තවද ඔහු (පාපකම් අතරින්) බොහෝ දෑට සමාව දෙයි.
35තවද අපගේ වදන් සම්බන්ධයෙන් තර්ක කරන්නන් ගැන ඔහු දනී. ඔවුනට පලායන කිසිදු ස්ථානයක් නැත.
36එහෙයින් නුඹලාට යමක් දෙනු ලැබුවේ නම් එය මෙලොව ජීවිතයේ භුක්ති විඳීමකි. එහෙත් දේවත්වය විශ්වාස කොට ඔවුන්ගේ පරමාධිපති වෙත සියල්ල භාර කරන අයට අල්ලාහ් අබියස ඇති දෑ ශ්‍රේෂ්ඨ ය. තවද එය සදා පවතින්නකි.
37තවද ඔවුන් වනාහි බරපතළ පාපයන්ගෙන් හා අශීලාචාර දැයින් වැළකි සිටින්නන් වෙති. තවද කෝප වූ විට සමාව දෙන්නෝ ඔවුහු ම ය.
38තවද ඔවුන් වනාහි ඔවුන්ගේ පරමාධිපතිට පිළිතුරු දුන් අය වෙති. තවද සලාතය විධිමත්ව ඉටු කළ අය වෙති. තවද ඔවුන්ගේ කරුණු ඔවුන් අතර සාකච්ඡා මත පවතී. තවද අපි ඔවුනට පෝෂණය කළ දැයින් ඔවුහු වියදම් කරති.
39තවද ඔවුන් වනාහි ඔවුනට අසාධාරණයක් සිදු වූ විට ඔවුහු උදව් ලබන්නෝ වෙති.
40තවද නපුරට ප්‍රතිවිපාකය ඒ හා සමාන නපුරකි. එහෙයින් කවරෙකු සමාව දී සමාදානව කටයුතු කළේ ද එවිට ඔහුගේ ප්‍රතිඵලය අල්ලාහ් මත ය. නියත වශයෙන් ම ඔහු අපරාධකරුවන් ප්‍රිය නො කරයි.
41තවද කවරෙකු තමාට සිදු වූ අපරාධයෙන් පසුව උදව් ලැබුවේ ද එවිට ඔවුනට එරෙහිව කිසිදු මාර්ගයක් නැත්තෝ ඔවුහු ම ය.
42නියත වශයෙන් ම ක්‍රියාමාර්ගය (ගත යුතුව) ඇත්තේ ජනයාට අපරාධ කරමින් යුක්තියෙන් තොරව මහපොළොවේ සීමාව ඉක්මවා කටයුතු කරන්නන්ට එරෙහිව පමණ ය. වේදනීය දඬුවමක් ඇත්තෝ ඔවුහු ම ය.
43තවද කවරෙකු ඉවසා සමාව දුන්නේ ද නියත වශයෙන් ම එය ස්ථාවර කටයුතු අතරිනි.
44තවද අල්ලාහ් කවරෙකු නොමග යන්නට ඉඩ හරින්නේ ද එවිට (අල්ලාහ් වන) ඔහුගෙන් පසුව කිසිදු භාරකරුවකු ඔහුට නැත. තවද අපරාධකරුවන් දඬුවම දුටු කල්හි ‘මිදීමට මගක් ඇත් දැ?’යි විමසා සිටිනු නුඹ දකිනු ඇත.
45තවද ඒ වෙත ඔවුන් ඉදිරිපත් කරනු ලබන විට, අවමානයෙන් යුතුව හොර ඇසින් බලමින් ඔවුන් බියෙන් සිටිනු නුඹ දකිනු ඇත. “නියත වශයෙන් ම අලාභවන්තයින් වනුයේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තමන් හා තම පවුලට අලාභහානි කර ගත්තවුන්ය” යැයි විශ්වාස කළවුන් පවසා සිටියෝ ය. දැන ගනු! නියත වශයෙන් ම අපරාධකරුවන් ස්ථීර දඬුවමෙහි වෙති.
46තවද අල්ලාහ්ගෙන් තොරව ඔවුනට උදව් කරන ආරක්ෂකයින් කිසිවෙකු ඔවුනට නොමැත. තවද අල්ලාහ් කවරෙකු නොමග යන්නට ඉඩ හරින්නේ ද එවිට කිසිදු මගක් ඔහුට නැත.
47අල්ලාහ් වෙතින් එයට නැවත හැරීමක් නැති දිනයක් පැමිණීමට පෙර නුඹලාගේ පරමාධිපතිට නුඹලා ප්‍රතිචාර දක්වනු. එදින කිසිදු සරණාගත ස්ථානයක් නුඹලාට නැත. තවද හෙළා දැකීමක් ද නැත.
48එහෙයින් ඔවුන් පිටුපෑවේ නම් එවිට (දැන ගනු!) ඔවුනට ආරක්ෂකයකු ලෙස අපි නුඹව යැව්වේ නැත. දන්වා සිටීම හැර වෙනෙකක් නුඹ වෙත පැවරී නැත. තවද නියත වශයෙන් ම අපි මිනිසාට අපගෙන් වූ ආශිර්වාදයක් භුක්ති විඳින්නට සැලැස්වූයේ නම් ඔහු ඒ පිළිබඳ සතුටු විය. එහෙත් ඔවුනට ඔවුන්ගේ දෑත් ඉදිරිපත් කළ දෑ හේතුවෙන් යම් නපුරක් ඇති වන්නේ නම් එවිට නියත වශයෙන් ම මිනිසා මහත් සේ ගුණමකු ය.
49අහස්හි හා මහපොළොවෙහි ආධිපත්‍යය අල්ලාහ් සතු ය. ඔහු අභිමත කරන දෑ මවනු ඇත. තවද ඔහු අභිමත කරන අයට ගැහැනු දරුවන් පිරිනමනු ඇත. තවද ඔහු අභිමත කරන අයට පිරිමි දරුවන් පිරිනමනු ඇත.
50එසේ නැතහොත් ඔවුනට පිරිමි හා ගැහැනු දරුවන් වශයෙන් යුගල ලෙස පිරිනමයි. තවද ඔහු අභිමත කරන අය වඳ බවට පත් කරයි. නියත වශයෙන් ම ඔහු සර්ව ඥානී ය; සර්ව ශක්තිය ඇත්තා ය.
51තවද දිව්‍යමය හෙළිදරව්වක් වශයෙන් හෝ තිරයක් පිටුපසින් සිට හෝ එසේ නැතහොත් දූතයකු යවා තමන් අභිමත කරන දෑ තම නියෝගයෙන් ඔහු දන්වා සිටීමෙන් මිස හෝ අල්ලාහ් තමන් සමඟ කතා කරන්නට කිසිදු මිනිසෙකුට නො වීය. නියත වශයෙන් ම අල්ලාහ් උත්තරීතර ය; මහා ප්‍රඥාවන්ත ය.
52තවද එලෙස අපි අපගේ නියෝගයෙන් වූ ජීවමානයක් ලෙස නුඹ වෙත අපි දිව්‍යමය හෙළිදරව්ව එව්වෙමු. ධර්ම ග්‍රන්ථය කුමක් ද? යන්න හෝ දේව විශ්වාසය කුමක් ද? යන්න ගැන ඔබ දැන සිටියේ නැත. එහෙත් අපගේ ගැත්තන් අතරින් අප අභිමත කරන අයට එමඟින් අපි මග පෙන්වන ආලෝකයක් බවට අපි එය ඇති කළෙමු. තවද නියත වශයෙන් ම ඔබ ඍජු මාර්ගය වෙත මග පෙන්වන් වනු ඇත.
53අහස්හි ඇති දෑ හා මහපොළොවෙහි ඇති දෑ තමන් සතු වූ අල්ලාහ්ගේ මාර්ගය වෙත. (නබිවරය!) දැන ගනු! සියලු කරුණු යොමු වනුයේ අල්ලාහ් වෙත ය.