الزمر
The Groups • 75 ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ
1(මෙය) සර්ව බලධාරී මහා ප්‍රඥාවන්ත අල්ලාහ්ගෙන් වූ ග්‍රන්ථයේ පහළ කිරීමකි.
2නියත වශයෙන් ම අපි ඔබ වෙත ධර්ම ග්‍රන්ථය සත්‍යයෙන් යුතුව පහළ කළෙමු. එහෙයින් ඔබ අවංක ලෙසින් අල්ලාහ්ට පමණක් දහම පුද කොට ඔහුට නැමදුම් කරනු.
3දැන ගනු! පිවිතුරු දහම අල්ලාහ් සතු ය. තවද ඔහු හැර වෙනත් අය ආරක්ෂකයින් ලෙස ගත් අය ‘අල්ලාහ් වෙත අප සමීප කරවීමට මිස අපි ඔවුනට නැමදුම් නො කළෙමු (යැයි පවසති). ඔවුන් කවර දෙයක් තුළ මතභේද ඇති කරගත්තේද ඒ පිළිබඳව අල්ලාහ් ඔවුන් අතර නියත වශයෙන් ම තීන්දු දෙනු ඇත. නියත වශයෙන් ම අල්ලාහ් මහා බොරුකාර දැඩි සේ දේවත්වය ප්‍රතික්ෂේප කරන්නාහට මග නො පෙන්වයි.
4අල්ලාහ් දරුවකු ගැනීමට සිතුවේ නම් ඔහු අභිමත කළ අයුරින් ඔහු ම වන දැයින් ම ඔහු තෝරා ගන්නට තිබුණි. ඔහු සුපිවිතුරු ය. ඔහු මහා බලපරාක්‍රම ඒකීය වූ අල්ලාහ් ය.
5සත්‍යයෙන් යුතුව අහස් හා මහපොළොව ඔහු මැව්වේ ය. තවද ඔහු රාත්‍රිය දහවල මත හකුළුවන්නේ ය. තවද ඔහු දහවල රාත්‍රිය මත හකුළුවන්නේ ය. තවද හිරු හා සඳ ඔහු වසඟ කළේ ය. ඒ සියල්ල නියමිත කාලයක් දක්වා ගමන් කරනු ඇත. දැන ගනු! ඔහු මය සර්ව බලධාරී අතික්ෂමාශීලීය.
6එක ම ආත්මයකින් ඔහු නුඹලා මැව්වේ ය. පසුව එයින් එහි සහකාරිය ඇති කළේ ය. තවද ගොවිපළ සතුන්ගෙන් යුගල වර්ග අටක් නුඹලාට පහළ කළේ ය. මැවීමකින් පසු මැවීමක් ලෙසින් තුන් ආකාර අන්ධකාරයන් තුළ නුඹලාගේ මව්වරුන්ගේ කුසවල්හි ඔහු නුඹලා මැව්වේ ය. එයයි නුඹලාගේ පරමාධිපති වූ අල්ලාහ්. සියලු ආධිපත්‍යයන් ඔහු සතු ය. ඔහු හැර වෙනත් දෙවියෙකු නැත. එසේ නම් නුඹලා වෙනෙතකට යොමු කරනු ලබනුයේ කෙසේ ද?
7නුඹලා ප්‍රතික්ෂේප කරන්නේ නම් එවිට (දැන ගනු!) නියත වශයෙන් ම අල්ලාහ් නුඹලා ගැන අවශ්‍යතාව නොමැත්තා ය. තම ගැත්තන්ගෙන් ප්‍රතික්ෂේප කිරීම ඔහු ප්‍රිය නො කරයි. තවද නුඹලා කෘතවේදී වන්නේ නම් ඒ ගැන ඔහු නුඹලා කෙරෙහි තෘප්තියට පත් වෙයි. බර උසුලන්නෙකු වෙනත් අයගේ (පාපයේ) බර නො උසුලනු ඇත. පසුව නුඹලා නැවත යොමු විය යුතු ස්ථානය ඇත්තේ නුඹලාගේ පරමාධිපති වෙත ය. එවිට නුඹලා කරමින් සිටි දෑ පිළිබඳව ඔහු නුඹලාට දන්වයි. නියත වශයෙන් ම ඔහු හදවත් සතු දෑ පිළිබඳව මැනවින් දන්නා ය.
8තවද මිනිසාට යම් හානියක් ස්පර්ශ වූ විට ඔහු තම පරමාධිපති වෙත යොමු වී ඔහුට කන්නලව් කරයි. පසුව ඔහුට ඔහුගෙන් වූ යම් අනුග්‍රහයක් පිරිනැමූ විට ඔහු මීට පෙර කවර දෙයක් වෙත කන්නලව් කරමින් සිටියේ ද එය අමතක කොට අල්ලාහ්ගේ මාර්ගයෙන් නොමග යවනු පිණිස ඔහුට සමානයන් තබයි. “ඔබ ඔබේ ප්‍රතික්ෂේපය සමඟ ස්වල්ප කාලයක් භුක්ති විදිනු. නියත වශයෙන් ම ඔබ නිරාවාසීන් අතරිනි” යැයි (නබි මුහම්මද්!) නුඹ පවසනු.
9මතු ලොව පිළිබඳ බියෙන් හා තම පරමාධිපතිගේ ආශිර්වාදය අපේක්ෂාවෙන් රාත්‍රී හෝරාවන්හි (සලාතයේ දී) සුජූද් කරන්නකු ලෙස හා නැගිට සිටින්නෙකු ලෙස ගැතිකම් කිරීමට අවදිව සිටින්නා, (එසේ නො කරන පාපියකු මෙන්) ද? “දන්නා අය හා නොදන්නා අය සමාන වේවි” දැ? යි (නබි මුහම්මද්) නුඹ විමසනු. (මෙමඟින්) උපදෙස් ලබනුයේ ප්‍රබුද්ධිමත් උදවියයි.
10අහෝ විශ්වාස කළාවූ මාගේ යහපත් ගැත්තනි! නුඹලා නුඹලාගේ පරමාධිපතිට බිය බැතිමත් වනු. මෙලොව යහකම් කළවුනට යහපත ය. අල්ලාහ්ගේ භූමිය විශාල ය. ඉවසිලිවන්තයින් ඔවුන්ගේ ප්‍රතිඵල අප්‍රමාණ ලෙස ලබා ගනිති.
11“නියත වශයෙන් ම මා අල්ලාහ්ට අවංක ලෙසින් ඔහුට පමණක් දහම පුද කර නැමදීමට මා අණ කරනු ලැබුවෙමි” යැයි (නබිවරය!) නුඹ පවසනු.
12තවද මුස්ලිම්වරුන්ගෙන් පළමුවැන්නා වීමට ද මම අණ කරනු ලැබුවෙමි.
13“මාගේ පරමාධිපතිට මම පිටුපෑවේ නම් මහත් වූ දිනයක දඬුවම ගැන මම බිය වෙමි” යැයි නුඹ පවසනු.
14“මාගේ යටහත්භාවය අල්ලාහ්ට අවංක ලෙසින් පුද කරමින් මම ඔහු නමදිමි” යැයි නුඹ පවසනු.
15එහෙයින් නුඹලා ඔහු හැර නුඹලා අභිමත දෑට ගැතිකම් කරනු. (නබිවරය!) “නියත වශයෙන් ම පරාජිතයින් වනුයේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තමන්ට හා තම පවුලට පාඩු ඇති කර ගත්තවුන් ය. දැන ගනු! එයයි ප්‍රකට පරාජය” යැයි නුඹ පවසනු.
16ඔවුනට ඉහළින් (නිරා) ගින්නෙන් වූ මහල් ද ඔවුනට පහළින් මහල් ද ඔවුනට ඇත. එය වනාහි අල්ලාහ් එමඟින් තම ගැත්තන් බිය ඇති කරවයි.“අහෝ මාගේ ගැත්තනි! එහෙයින් නුඹලා මට බිය බැතිමත් වනු.” (යැයි තවදුරටත් පවසනු.)
17නපුරු බලවේගයන්ගෙන් (ඉවත් ව) ඒවාට නැමදුම් කිරීමෙන් වැළකී අල්ලාහ් වෙත නැඹුරු වූවන් වනාහි ඔවුනටය ශුභාශිංසනය ඇත්තේ. එහෙයින් මාගේ ගැත්තන්හට ඔබ සුබාරංචි දන්වනු.
18ප්‍රකාශයට සවන් දී එය වඩාත් අලංකාර අයුරින් අනුගමනය කරන්නන් වනාහි අල්ලාහ් ඔවුනට මග පෙන්වූ අය ඔවුහු ම ය. තවද ඔවුහු මය ප්‍රබුද්ධිමත් උදවිය වන්නෝ.
19(නබිවරය!) කවුරුන් කෙරෙහි දඬුවම පිළිබඳ වදන නියම වූයේ ද ගින්නෙහි සිටින ඔහුව ඔබ ආරක්ෂා කරන්නෙක් වන්නෙහි ද?
20එහෙත් තම පරමාධිපතිට බිය බැතිමත් වූ අය වනාහි ඔවුනට මන්දිර ඇත. ඒවාට ඉහළින් ඉදි කරන ලද තවත් මන්දිර ද ඇත. ඒවාට පහළින් ගංගාවෝ ගලා බසිති. (එය) අල්ලාහ්ගේ ප්‍රතිඥාවක් වශයෙනි. අල්ලාහ් එම ප්‍රතිඥාව කඩ නො කරයි.
21නියත වශයෙන් ම අල්ලාහ් අහසින් ජලය පහළ කොට එය මහපොළොවේ උල්පත් ලෙස ගලා යන්නට සලස්වා එමඟින් (විවිධ වර්ණවලින් යුත්) විවිධ වර්ගයේ බෝග හටගන්වා පැහෙන්නට සලස්වයි. එවිට ඔබ එය රන්වන් පැහැයෙන් දකිනු ඇත. පසුව එය ඉපැනැලි බවට පත් කරයි. නියත වශයෙන් ම එහි ප්‍රබුද්ධිමත් උදවියට උපදෙසක් ඇත.
22අල්ලාහ් කවරෙකුගේ හදවත ඉස්ලාමය වෙත විවෘත කළේ ද සැබැවින් ම ඔහු ඔහුගේ පරමාධිපතිගේ ආලෝකය මත සිටින්නේ ය. අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් දුරස් වූ බැවින් තම හදවත් රළුවූවන්ට විනාශය අත් වේවා! ඔවුහු පැහැදිලි නොමගෙහි වෙති.
23නැවත නැවතත් ප්‍රකාශ වන; එකිනෙකට සමාන; ධර්මයක් ලෙස අලංකාර කතාව ඔහු පහළ කළේ ය. තම පරමාධිපතිට බියවන්නන්ගේ හම් එමඟින් කිළිපොළා යනු ඇත. පසුව ඔවුන්ගේ හම් හා ඔවුන්ගේ හදවත් අල්ලාහ් මෙනෙහි කිරීම සඳහා මොළොක් වනු ඇත. එය අල්ලාහ්ගේ මග පෙන්වීමයි. ඔහු අභිමත කරන අයට එමඟින් ඔහු මග පෙන්වනු ඇත. තවද අල්ලාහ් කවරෙකු නොමග යන්නට ඉඩ හැරියේද ඔහුට කිසිදු මග පෙන්වන්නකු නැත.
24මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නපුරු දඬුවමින් තමන්ව ආරක්ෂා කරගන්නා (සුරක්ෂිතව ස්වර්ගයට පිවිසෙන අයෙකුට සමාන වන්නේ) ද? “නුඹලා උපයමින් සිටි දෑ නුඹලා භුක්ති විඳිනු” යැයි අපරාධකරුවන්ට කියනු ලැබේ.
25ඔවුනට පෙර සිටියවුන් බොරු කළෝ ය. එහෙයින් ඔවුන් නොදැන සිටියදී ඔවුන් වෙත දඬුවම පැමිණියේ ය.
26එවිට මෙලොව ජීවිතයේ අවමානය අල්ලාහ් ඔවුනට විඳින්නට සැලැස්වී ය. තවද මතු ලොව දඬුවම අතිමහත් ය. ඔවුහු දැන සිටියාහු නම්!
27තවද ජනයා උපදෙස් ලැබිය හැකි වනු පිණිස මෙම අල් කුර්ආනයේ සෑම උපමාවක්ම අපි ඔවුනට ගෙන හැර දැක්වූයෙමු.
28ඔවුන් බිය බැතිමත් විය හැකි වනු පිණිස කිසිදු ඇදයක් නොමැති මෙම කුර්ආනය අරාබි භාෂාවෙන් වූවකි.
29මතභේදවලින් යුත් (බොහෝ) හවුල්කරුවන් සතු වූ මිනිසෙක් හා එක ම මිනිසෙකුට පමණක් අයත් වූ මිනිසෙක් අල්ලාහ් උපමා වශයෙන් ගෙන හැර දැක් වීය. උපමාවෙන් ඔවුන් දෙදෙනා එක හා සමාන වේ ද? සියලු ප්‍රශංසා අල්ලාහ්ට ය. එහෙත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා නො දනිති.
30නියත වශයෙන් ම නුඹ මිය යන අයෙකි. එමෙන් ම නියත වශයෙන් ම ඔවුහු ද මිය යන අය වෙති.
31පසුව නියත වශයෙන් ම නුඹලා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලාගේ පරමාධිපති අබියස වාද කරන්නෙහු ය.
32අල්ලාහ් කෙරෙහි බොරු ගොතා, තමන් වෙත සත්‍යය පැමිණි විටත් එය බොරු කළ අයට වඩා මහා අපරාධකරු කවරෙකු ද? දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්හට නිරයේ නවාතැනක් නො වේ ද?
33තවද සත්‍යය රැගෙන ආ තැනැත්තා සහ එය තහවුරු කළ අය වනාහි, ඔවුහු මය බිය බැතිමතුන් වනුයේ.
34ඔවුන් ප්‍රිය කරන දෑ ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුනට ඇත. එය දැහැමියන්ගේ ප්‍රතිඵලයයි.
35ඔවුන් සිදු කළ දෑහි මහත් නපුර ඔවුන්ගෙන් ඉවත් කරනු පිණිස හා ඔවුන් සිදු කරමින් සිටි දෑට වඩාත් අලංකාර ලෙස ඔවුන්ගේ කුලිය ඔවුනට පිරිනමනු පිණිස ය.
36අල්ලාහ් තම ගැත්තාට ප්‍රමාණවත් අයෙකු නො වේ ද? තවද ඔවුහු ඔහුගෙන් තොර අන්අය ගෙනැවිත් නුඹව බියගන්වති. තවද අල්ලාහ් කවරෙකු නොමග යන්නට ඉඩ හරින්නේද එවිට ඔහුට කිසිදු මග පෙන්වන්නෙකු නොමැත.
37තවද අල්ලාහ් කවරෙකුට මග පෙන්වන්නේ ද එවිට කිසිදු මුළාකරුවෙකු ඔහුට නො වනු ඇත. අල්ලාහ් සර්ව බලධාරී සමප්‍රතිචාර දක්වන්නා නො වේ ද?
38තවද අහස් හා මහපොළොව මැව්වේ කවු දැ? යි නුඹ ඔවුන්ගෙන් විමසුවෙහි නම් ඔවුහු “අල්ලාහ්” යැයි පවසති. (අහෝ නබිවරය!) “අල්ලාහ් හැර දමා නුඹලා කන්නලව් කරන දෑ පිළිබඳ නුඹලා කුමක් සිතන්නෙහු ද? - අල්ලාහ් මා වෙත යම් නපුරක් සිතුවේ නම් එම නපුර ඔවුන් ඉවත් කරන්නන් වෙත් ද? එසේ නැතහොත් අල්ලාහ් මා වෙත යම් ආශිර්වාදයක් සිතුවේ නම් ඔහුගේ ආශිර්වාදය ඔවුන් වළක්වන්නන් වෙත් ද? යැයි විමසනු. (නබිවරය!) “අල්ලාහ් මාහට ප්‍රමාණවත් ය. විශ්වාස කරන්නන් ඔහු වෙත පමණක් විශ්වාස කරත්වා” යැයි පවසනු.
39මාගේ ජනයිනි! නුඹලාගේ ස්ථාවරය මත සිට නුඹලා කටයුතු කරනු. නියත වශයෙන් ම මම ද කටයුතු කරමි. එහෙයින් නුඹලා මතු දැන ගනු ඇත යැයි (නබිවරය!) නුඹ පවසනු.
40තමන් අවමානයට පත් කරන දඬුවම කවුරුන් වෙත පැමිණෙන්නේ දැ? යි ද, ස්ථාවර දඬුවම කවුරුන් මත පහළ වන්නේ දැ? යි ද (නුඹලා මතු දැන ගනු ඇත.)
41නියත වශයෙන් ම අපි සත්‍යයෙන් යුතුව ධර්ම ග්‍රන්ථය ජනයා සඳහා, නුඹ වෙත පහළ කළෙමු. එහෙයින් කවරෙකු (එමඟින්) යහමග ලබන්නේ ද එය ඔහු වෙනුවෙන් ම ය. තවද කවරෙකු නොමග යන්නේ ද එසේ ඔහු නොමග යනුයේ ඔහුට ම එරෙහිවම ය. තවද නුඹ ඔවුන් කෙරෙහි භාරකරුවකු නො වේ.
42ආත්මාවන් ඒවා මරණයට පත් වන මොහොතේ ද නින්දේදී මරණයට පත් නො වූ දෑ ද අත්පත් කර ගන්නේ අල්ලාහ් ය. කවර ආත්මයක් මත මරණය තීන්දු කළේ ද එය ඔහු රඳවා තබා ගනී. සෙසු දෑ නියම කරන ලද කාලයක් දක්වා ඔහු එවනු ඇත. කල්පනා කර බලන ජනයාට නියත වශයෙන් ම එහි සංඥා ඇත.
43එසේ නැතහොත් ඔවුහු අල්ලාහ්ගෙන් තොරව මැදිහත්කරුවන් ගත්තෝ ද? “ඔවුන් කිසිවකට හිමිකම් නො දරමින් බුද්ධිමත් නො වන්නන් ලෙස සිටිය ද (ඔවුන් මැදිහත්කරුවන් ලෙස ගන්නෙහු ද?) “යැයි (නබිවරය!) නුඹ විමසනු.
44“සියලු මැදිහත්වීම් අල්ලාහ් සතු ය. අහස් හා මහපොළොවේ ආධිපත්‍යය ඔහු සතු ය. පසුව නුඹලා නැවත යොමු කරනු ලබනුයේ ඔහු වෙතය”. යැයි (නබිවරය!) නුඹ පවසනු.
45තවද අල්ලාහ් පමණක් මෙනෙහි කරනු ලැබූ විට මතු ලොව විශ්වාස නො කරන්නන්ගේ හදවත් හැකිලී යයි. ඔහුගෙන් තොරවූවන් මෙනෙහි කරනු ලබන විට, එවිට ඔවුහු සතුටු වෙති.
46අදෘශ්‍යමාන දෑ හා පිටතට පෙනෙන දෑ ගැන දන්නා වූ අහස් හා මහපොළොවේ මැවුම්කරුවාණනි! ඔබේ ගැත්තන් කවර විෂයක් තුළ මතභේද ඇති කර ගනිමින් සිටියේ ද ඒ ගැන ඔවුන් අතර තීන්දු දෙනුයේ ඔබ යැයි (නබිවරය!) නුඹ පවසනු.
47තවද අපරාධ කළවුනට මහපොළොවේ ඇති සියල්ල ද ඒ සමඟ ම ඒ හා සමානව තවත් තිබුණ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දඬුවමේ බිහිසුණුභාවයෙන් මිදීම සඳහා වන්දි වශයෙන් එය දෙනු ඇත. ඔවුන් අපේක්ෂා නො කරමින් සිටි දෑ අල්ලාහ්ගෙන් ඔවුනට හෙළිවනු ඇත.
48තවද ඔවුන් උපයා ගත් දෑහි නපුරුකම් ඔවුනට හෙළිවනු ඇත. තවද ඔවුන් කවර දෙයක් පිළිබඳව සරදම් කරමින් සිටියේ ද එය ඔවුන් වටලා ගනු ඇත.
49මිනිසාට යම් හානියක් ස්පර්ශ වූ විට ඔහු අපට කන්නලව් කරයි. පසුව අපගෙන් වූ දයාවක් අපි ඔහුට පිරිනැමූ විට, “නියත වශයෙන් ම එය මට දෙනු ලැබුවේ (මාගේ) දැනුම අනුවය” යැයි පවසයි. නැත, එය පරීක්ෂණයකි. එහෙත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා (ඒ බව) නො දනිති.
50සැබැවින් ම ඔවුනට පෙර සිටි අය ද එය පැවසුවෝ ය. එහෙත් ඔවුන් උපයමින් සිටි දෑ ඔවුනට ඵලක් නො වීය.
51එහෙයින් ඔවුන් ඉපැයූ දෑහි නපුරු විපාකය ඔවුන්ව හසුකර ගත්තේ ය. ඔවුන් අතරින් අපරාධ කළවුන් ඔවුන් ඉපැයූ දෑහි නපුරු විපාක ඔවුන්ව මතු හසුකරනු ඇත. තවද ඔවුහු (සත්‍යය) පරාජයට පත් කරන්නන් නො වෙති.
52නියත වශයෙන් ම අල්ලාහ් තමන් අභිමත කරන අයට පෝෂණ සම්පත් ව්‍යාප්ත කර දෙන බවත් එමෙන් ම ඔහු එය සීමා කර දෙන බවත් ඔවුහු නො දන්නෝ ද? නියත වශයෙන් ම විශ්වාස කරන ජනයාට එහි සාධක ඇත.
53අහෝ තමන් විසින් තමන්ව නසා ගත් මාගේ ගැත්තනි! අල්ලාහ්ගේ කරුණාව ගැන නුඹලා අපේක්ෂා රහිත නො වනු. නියත වශයෙන් ම අල්ලාහ් සියලු පාපයන්ට සමාව දෙනු ඇත. නියත වශයෙන් ම ඔහු අතික්ෂමාශීලී ය; මහා කරුණාන්විත ය.
54තවද දඬුවම නුඹලා වෙත පැමිණීමට පෙර නුඹලා නුඹලාගේ පරමාධිපති වෙත නැඹුරු වනු. තවද ඔහුට යටහත් වනු. පසුව නුඹලා උදව් කරනු නො ලබන්නෙහු ය.
55තවද නුඹලා නො හඟමින් සිටිය දී අනපේක්ෂිතව නුඹලා වෙත දඬුවම පැමිණීමට පෙර නුඹලාගේ පරමාධිති විසින් නුඹලා වෙත පහළ කරනු ලැබූ වඩාත් අලංකාර දෑ පිළිපදිනු.
56අල්ලාහ් සම්බන්ධයෙන් (මා ඉටු කළ යුතු වගකීම්) නො සලකා හැරීම හේතුවෙන් මට විනාශයයි. තවද නියත වශයෙන් ම මම සමච්චල් කරන්නන් අතරින් වූයෙමි යැයි කිසිදු ආත්මයක් පවසා සිටීමට පෙර ද,
57එසේ නැතහොත් නියත වශයෙන් ම අල්ලාහ් මට මග පෙන්වූයේ නම් මම බිය බැතිමතුන් අතරින් වන්නට තිබුණි යැයි පවසා සිටීමට පෙර ද,
58එසේ නැතහොත් දඬුවම දකින විට “මට තවත් වාරයක් වී නම් මම දැහැමියන් අතරින් වෙමි” යැයි පවසා සිටීමට පෙර ද (නුඹලා වෙත පහළ කරනු ලැබූ වඩාත් අලංකාර දෑ පිළිපදිනු.)
59“එසේ නො ව, සැබැවින් ම මාගේ වදන් නුඹ වෙත පැමිණියේ ය. එවිට නුඹ ඒවා බොරු කළෙහි ය. තවද නුඹ උඩඟු වූයෙහි ය. තවද නුඹ ප්‍රතික්ෂේප කරන්නන් අතරින් වූයෙහි ය.”
60තවද අල්ලාහ් කෙරෙහි බොරු පැවසූවන්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ මුහුණු කළු පැහැ ගැන්වී තිබීම ඔබ දකිනු ඇත. උඩඟු වූවන්ට නිරයේ නවාතැනක් නො වේ ද?
61තවද බිය බැතිමත් වූවන් ඔවුන්ගේ ජයග්‍රහණයන් හේතුවෙන් අල්ලාහ් ඔවුන් මුදවා ගනු ඇත. නපුර ඔවුන් ස්පර්ෂ නො කරනු ඇත. එමෙන් ම ඔවුහු දුකට පත් නො වෙති.
62අල්ලාහ් සියලු දෑහි මැවුම්කරු ය. තවද ඔහු සියලු දෑ කෙරෙහි භාරකරු ය.
63අහස් හා මහපොළොවේ යතුරු ඔහු සතු ය. අල්ලාහ්ගේ වදන් ප්‍රතික්ෂේප කළ ඔවුහු මය පරාජිතයෝ.
64“අහෝ අඥාන ජනයිනි! අල්ලාහ් නො වන දෑට මා ගැතිකම් කළ යුතු යැයි නුඹලා මට අණ කරන්නෙහු දැ?” යි (නබිවරය!) නුඹ විමසනු.
65“නුඹ ආදේශ කළෙහි නම් නුඹගේ ක්‍රියා සැබැවින් ම නිෂ්ඵල වී යනු ඇත. තවද නුඹ පරාජිතයින් අතරින් වනු ඇතැ”යි නුඹ වෙත හා නුඹට පෙර විසූවන් වෙත දේව පණිවිඩ එවනු ලැබී ය.
66එසේ ය. නුඹ අල්ලාහ්ට ගැතිකම් කරනු. තවද නුඹ ගුණගරුක අය අතරින් වනු.
67තවද අල්ලාහ්ව නියම අයුරින් මහිමයට පත් කළ යුතු ආකාරයට ඔවුහු ඔහුව මහිමයට පත් නො කළෝ ය. තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මහපොළොව මුළුමණින් ම ඔහුගේ ග්‍රහණයේ පවතී. තවද අහස් ඔහුගේ දකුණතෙහි ඔතනු ලැබ තිබේ. ඔවුන් ආදේශ කරන දැයින් ඔහු උත්තරීතර ය; සුවිශුද්ධ ය.
68සූර් (නම් හොරණෑවෙ)හි පිඹිනු ලැබේ. එවිට අල්ලාහ් අභිමත කළ අය හැර අහස්හි ඇති අය හා මහපොළොවෙහි ඇති අය මරණයට පත් වෙති. පසුව එහි තවත් වාරයක් පිඹිනු ලැබේ. එවිට ඔවුහු නැගිට සිටිමින් අවධානයෙන් බලා සිටිති.
69තවද මහපොළොව, එහි පරමාධිපතිගේ ආලෝකයෙන් උදා වෙයි. තවද ප්‍රගති ලේඛන තබනු ලැබේ. නබිවරුන් හා සාක්ෂිකරුවන් ගෙන එනු ලැබේ. ඔවුන් අතර සත්‍යයෙන් යුතුව තීන්දු දෙනු ලැබේ. ඔවුනට අසාධාරණයක් සිදු කරනු නො ලැබේ.
70තවද සෑම ආත්මයක් ම ඒවා සිදු කළ දෑට පූර්ණව (ප්‍රතිඵල) දෙනු ලබයි. තවද ඔවුන් සිදු කරන දෑ පිළිබඳව ඔහු මැනවින් දන්නා ය.
71තවද දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් නිරය වෙත කණ්ඩායම් වශයෙන් මෙහෙයවා ගෙන යනු ලැබේ. ඔවුහු ඒ දක්වා පැමිණි විට එහි දොරටු විවෘත කරනු ලැබේ. නුඹලාගේ පරමාධිපතිගේ වදන් පාරායනය කරන ධර්ම දූතවරුන් නුඹලා අතරින් නුඹලා වෙත නො පැමිණියේ ද? තවද නුඹලාගේ මෙම දිනයේ හමුව පිළිබඳ නුඹලාට අවවාද නො කළේ දැ? යි එහි භාරකරුවන් ඔවුන්ගෙන් විමසනු ඇත. එසේය, යැයි ඔවුහු පවසති. එනමුත් දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්හට දඬුවමේ ප්‍රකාශය නියම විය.
72නුඹලා එහි සදාතනිකයින් ලෙසින් නිරයේ දොරටුවලින් ඇතුළු වනු. උඩඟුවූවන්ගේ නවාතැන නපුරු විය යැයි කියනු ලැබේ.
73තවද තම පරමාධිපතිට බිය බැතිමත් වූවන් ස්වර්ගය වෙත කණ්ඩායම් වශයෙන් මෙහෙයවා ගෙන යනු ලැබේ. ඔවුහු ඒ දක්වා පැමිණි විට එහි දොරටු විවෘත කරනු ලැබේ. “නුඹලාට සලාම් (ශාන්තියයි.) නුඹලාගේ කටයුතු යහපත් වී ඇත. එහෙයින් සදාතනිකයින් ලෙසින් එහි නුඹලා පිවිසෙනු.” යැයි එහි භාරකරුවන් ඔවුනට පවසනු ඇත.
74තවද “තම පොරොන්දුව අපට සැබෑ කළ, තවද මහපොළොව අපට උරුමකර දුන් අල්ලාහ්ට ම සියලු ප්‍රශංසා. අපි කැමති පරිදි ස්වර්ගයේ වාසය කරන්නෙමු” යැයි ඔවුන් පවසනු ඇත. එහෙයින් ක්‍රියාකාරීන්ගේ ප්‍රතිඵල යහපත් විය.
75තවද අර්ෂ් අවට පිරිවරාගෙන තම පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් ඔහු ව පිවිතුරු කරමින් සිටින මලක්වරුන් ඔබ දකිනු ඇත. ඔවුන් අතර සත්‍යයෙන් යුතු ව තීන්දු දෙනු ලැබේ. සකල ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා යැයි පවසනු ලැබේ.