التغابن
The Mutual Disillusion • 18 ayahs • Medinan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ
1අහස්හි ඇති දෑ හා මහපොළොවෙහි ඇති දෑ අල්ලාහ්ට සුවිශුද්ධ කරයි. සියලු ආධිපත්‍යය ඔහු සතු ය. තවද සියලු ප්‍රශංසා ඔහු සතු ය. තවද ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිවන්ත ය.
2ඔහු වනාහි නුඹලා මැව්වේ ය. තවද නුඹලා අතරින් දේවත්වය ප්‍රතික්ෂේප කරන අය ද නුඹලා අතරින් දේවත්වය විශ්වාස කරන අය ද සිටිති. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳ සර්ව නිරීක්ෂක ය.
3ඔහු අහස් හා මහපොළොව සත්‍යයෙන් යුතුව මැව්වේ ය. තවද ඔහු නුඹලා හැඩගන්වා නුඹලාගේ හැඩරුව ඔහු අලංකාර කළේ ය. තවද නැවත යොමු වීමේ ස්ථානය ඔහු වෙත ය.
4අහස්හි හා මහපොළොවෙහි ඇති දෑ ඔහු දනී. තවද නුඹලා සඟවන දෑ ද නුඹලා හෙළි කරන දෑ ද ඔහු දනී. තවද අල්ලාහ් හදවත් සතු දෑ පිළිබඳව සර්වඥානී ය.
5මීට පෙර ප්‍රතික්ෂේප කළවුන්ගේ පුවත නුඹලා වෙත නො පැමිණියේ ද? එවිට ඔවුන්ගේ විෂයයෙහි විපාකය ඔවුහු භුක්ති වින්දෝ ය. තවද ඔවුනට වේදනීය දඬුවමක් ද ඇත.
6එය ඔවුන්ගේ දූතවරුන් පැහැදිලි සාධක සමඟ ඔවුන් වෙත පැමිණි විට “අපට මග පෙන්වනුයේ මිනිසෙකු දැ”යි පවසා ප්‍රතික්ෂේප කොට පිටුපා ගිය බැවිණි. තවද අල්ලාහ් නො සලකා හැරියේ ය. තවද අල්ලාහ් අවශ්‍යතාවන්ගෙන් තොර ය; ප්‍රසංශාලාභී ය.
7තමන් (මළවුන් කෙරෙන්) අවදි කරනු නො ලබන්නෝම යැයි ප්‍රතික්ෂේප කළවුන් තරයේ ම සිතුවෝ ය. “එසේ නොව මාගේ පරමාධිපති මත දිවුරමින් නියත වශයෙන් ම නුඹලා අවදි කරනු ලබනු ඇත. පසුව නුඹලා සිදු කළ දෑ පිළිබඳව නුඹලාට දන්වනු ලබනු ඇත” යැයි (නබිවරය!) නුඹ පවසනු. තවද එය අල්ලාහ් වෙත පහසු ය.
8එහෙයින් නුඹලා අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් පිළිබඳව ද අපි පහළ කළ ආලෝකය පිළිබඳව ද විශ්වාස කරනු. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳව අභිඥානවන්ත ය.
9එදින ඔහු එක් රැස් කරන දිනය සඳහා නුඹලාව එක් රැස් කරනු ඇත. එය පාඩු ලබන දිනයයි. තවද කවරෙකු අල්ලාහ්ව විශ්වාස කර යහකම් කරන්නේ ද ඔහුගේ පාපයන් ඔහුගෙන් ඔහු ඉවත් කරයි. තවද ඒවාට පහළින් ගංගාවෝ ගලා බස්නා (ස්වර්ග) උයන්වලට ඔහු ඔහුව ඇතුළත් කරයි. එහි ඔවුන් නිරන්තරයෙන් ම සාදතනිකයින් වෙති. එය අතිමහත් වූ ජයග්‍රහණයයි.
10තවද අපගේ වදන් බොරු කොට ප්‍රතික්ෂේප කළවුන් වනාහි ඔවුහු (නිරා) ගින්නේ වාසීහු ය. එහි ඔවුන් සදාතනිකයින් ය. නැවත යොමු වන ස්ථානය නපුරු විය.
11අල්ලාහ්ගේ අනුමැතියෙන් තොරව කිසිදු ආපදාවක් සිදු නො වේ. තවද කවරෙකු අල්ලාහ්ව විශ්වාස කරන්නේ ද ඔහුගේ හදවතට ඔහු(අල්ලාහ්) මග පෙන්වයි. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳව සර්වඥ ය.
12තවද නුඹලා අල්ලාහ්ට අවනත වනු. එමෙන් ම රසූල්වරයාට ද අවනත වනු. එහෙත් නුඹලා පිටුපෑවෙහු නම් එවිට (දැන ගනු!) නියත වශයෙන් ම අපගේ ධර්ම දූතයාණන් වෙත පැවරෙනුයේ පැහැදිලිව ප්‍රචාරය කිරීම පමණ ය.
13අල්ලාහ් වනාහි ඔහු හැර වෙනත් දෙවිඳෙකු නැත. තවද විශ්වාසවන්තයෝ අල්ලාහ් වෙත ම (සියල්ල) භාර කරත්වා.
14අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නියත වශයෙන් ම නුඹලාගේ බිරියන්ගෙන් ද නුඹලාගේ දරුවන්ගෙන් ද නුඹලාට සතුරන් වෙති. එහෙයින් නුඹලා ඔවුන්ගෙන් ප්‍රවේශම් වනු. තවද නුඹලා නො සලකා හැර ගණන් නො ගෙන සමාව දුන්නෙහු නම් එවිට නියත වශයෙන් ම අල්ලාහ් අතික්ෂමාශීලී ය; මහා කරුණාන්විත ය.
15නියත වශයෙන් ම නුඹලාගේ ධනය ද නුඹලාගේ දරුවන් ද පරීක්ෂණයකි. තවද අල්ලාහ් වන ඔහු අබියස මහත් වූ කුලියක් ඇත.
16එහෙයින් නුඹලාට හැකි පමණින් අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා සවන් දෙනු. තවද නුඹලා අවනත වනු. තවද නුඹලා වියදම් කරනු. එය නුඹලාට යහපතකි. තවද කවරෙකු තම මසුරුකමින් ආරක්ෂා කරනු ලබන්නේ ද එවිට ඔවුහු මය ජයග්‍රාහකයෝ.
17නුඹලා අල්ලාහ්ට අලංකාර ණයක් දුන්නෙහු නම් ඔහු එය නුඹලාට ගුණ කර දෙයි. තවද නුඹලාට සමාව දෙයි. තවද අල්ලාහ් ගුණ ගරුක ය; ඉවසිලිවන්ත ය.
18(ඔහු) අදෘශ්‍යමාන දෑ හා දෘශ්‍යමාන දෑ පිළිබඳව සර්ව ඥානී ය. සර්ව බලධාරී ය. මහා ප්‍රඥාවන්ත ය.