الشعراء
The Poets • 227 ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ
1තා, සීන්, මීම්.[1]
2ඒවා පැහැදිලි ධර්ම ග්‍රන්ථයේ වදන් ය.
3ඔවුන් දේවත්වය විශ්වාස කරන්නන් නො වීම හේතුවෙන් නුඹ නුඹගේ ආත්මය විනාශ කරගන්නට බලයි.
4අපි අභිමත කරන්නේ නම් අහසින් සංඥාවක් ඔවුනට එරෙහිව අපි පහළ කරන්නෙමු. එවිට ඔවුන්ගේ ගෙලවල් එයට යටහත් වන්නන් බවට පත් වනු ඇත.
5මහා කරුණාන්විතයාණන්ගෙන් යම් නව මෙනෙහි කිරීමක් ඔවුන් වෙත පැමිණි කල ඒ ගැන පිටුපාන්නන් ලෙසින් මිස ඔවුන් සිටියේ නැත.
6එවිට සැබැවින් ම ඔවුහු බොරු කළෝ ය. එහෙයින් ඔවුහු කවර දෙයක් ගැන සරදම් කරමින් සිටියෝ ද එහි පුවත ඔවුන් වෙත මතු පැමිණෙනු ඇත.
7එහි අපි ගරුසැරැති සෑම ජෝඩුවකින් ම කොපමණක් දෑ හටගන්වා ඇති දැ? යි මහපොළොව දෙස ඔවුහු නො බැලුවෝ ද?
8නියත වශයෙන් ම එහි සංඥාවක් ඇත. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන්. නො වූවෝ ය.
9තවද නියත වශයෙන් ම නුඹගේ පරමාධිපතියාණන් වනාහි ඔහු මය මහා කරුණාන්විත සර්ව බලධාරී.
10තවද ‘අපරාධකාරී ජනයා වෙත නුඹ යනු’යි මූසාට නුඹගේ පරමාධිපති ඇමතූ අවස්ථාව මෙනෙහි කරනු.
11ෆිර්අවුන්ගේ ජනයා (වෙත යනු). ඔවුහු බිය බැතිමත් විය යුතු නො වේ ද?
12මාගේ පරමාධිපතියාණනි! ඔවුන් මා බොරු කරනු ඇතැයි නියත වශයෙන් ම මම බිය වෙමි යැයි ඔහු පැවසුවේ ය.
13මාගේ හදවත පීඩනයට පත් වනු ඇත. මාගේ දිව පැහැදිලිව කතා නො කරනු ඇත. එහෙයින් හාරූන් වෙත (දූත මෙහෙය) නුඹ එවනු.
14තවද මට එරෙහිව වූ පාපයක් ඔවුන් සතුව ඇත. එහෙයින් ඔවුහු මා මරා දමනු ඇතැයි මම බිය වෙමි.
15එසේ නො ව, අපගේ සංඥා රැගෙන නුඹලා දෙදෙනා යනු. නියත වශයෙන් ම අපි නුඹලා සමඟ සිට සවන් දෙන්නෝ වෙමු යැයි ඔහු පැවසුවේ ය.
16එහෙයින් නුඹ දෙදෙනා ෆිර්අවුන් වෙත ගොස් නියත වශයෙන් ම අපි සර්ව ලෝකයන්හි පරමාධිපතිගේ ධර්ම දූතයන් වෙමු යැයි පවසනු.
17එබැවින් අප සමඟ ඉස්රාඊල් දරුවන් යවන මෙන් ද නුඹ දෙදෙනා පවසනු.
18අපි නුඹව අප තුළ දරුවකු සේ හදා වඩා නො ගත්තෙමු ද? නුඹගේ ආයු කාලයෙන් වසර ගණනාවක් නුඹ අප අතර රැඳී සිටියෙහිය යැයි ඔහු (ෆිර්අවුන්) පැවසී ය.
19තවද නුඹ සිදු කළා වූ නුඹගේ ක්‍රියාව නුඹ සිදු කර ඇත. තවද නුඹ ගුණමකුවන් අතරිනි (යැයි ෆිර්අවුන් පැවසී ය.)
20මුළාවූවන් අතරින් කෙනෙකුව මා සිටිය දී මම එය සිදු කළෙමි යැයි ඔහු (මූසා) පැවසී ය.
21එවිට මම නුඹලාට බිය වූ කල්හි මම නුඹලාගෙන් පලා ගියෙමි. එවිට මාගේ පරමාධිපති මට ප්‍රඥාව ප්‍රදානය කළේ ය. තවද ඔහු මා ධර්ම දූතයින් අතරට පත් කළේ ය.
22තවද එය ආශිර්වාදයකි. ඉස්රාඊල් දරුවන්ව (ෆිර්අවුන් වන) නුඹ වහල් භාවයට පත් කරමින් නුඹ මට එය කියා පෙන්වන්නෙහි ය.
23සර්ව ලෝකයන්හි පරමාධිපති යනු කවරෙක් දැ? යි ෆිර්අවුන් විමසී ය.
24නුඹලා තරයේ විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම් (දැන ගනු) අහස්හි හා මහපොළවෙහි ද ඒ දෙක අතර ඇති දෑහි ද පරමාධිපති (ඔහු)ය යැයි ඔහු (මූසා) පැවසී ය.
25නුඹලා සවන් නො දෙන්නෙහු දැ? යි අවට සිටියවුන්ගෙන් ඔහු (ෆිර්අවුන්) පැවසී ය.
26(ඔහු) නුඹලාගේ පරමාධිපති ද නුඹලාගේ මුල් මුතුන් මිත්තන්ගේ පරමාධිපති ද වේ යැයි (මූසා) පැවසී ය.
27නුඹලා වෙත එවනු ලැබූ නුඹලාගේ ධර්ම දූතයා නියත වශයෙන් ම උම්මත්තකයෙකි යැයි ඔහු (ෆිර්අවුන්) පැවසී ය.
28නුඹලා වටහා ගන්නන් ලෙස සිටියෙහු නම් (දැන ගනු) නැගෙනහිර බටහිර හා ඒ දෙක අතර ඇති දෑහි හිමිපාණන් (ඔහු)ය යැයි ඔහු (මූසා) පැවසී ය.
29මා හැර වෙනත් දෙවියකු නුඹ ගත්තෙහි නම් සැබැවින් ම මම නුඹව සිරකරුවන් අතරට පත් කරමි යැයි ඔහු (ෆිර්අවුන්) පැවසී ය.
30මම නුඹ වෙත පැහැදිලි කරුණක් රැගෙන ආ විට වුව දැ? යි ඔහු (මූසා) විමසී ය.
31නුඹ සත්‍යවාදීන් අතරින් නම් එය නුඹ ගෙන එනු යැයි ඔහු (ෆිර්අවුන්) පැවසී ය.
32එවිට ඔහු (මූසා) ඔහුගේ සැරයටිය (බිම) හෙළුවේ ය. එවිට එය පැහැදිලි සර්පයකු විය.
33තවද ඔහුගේ අත ඉවතට ගත්තේ ය. එවිට එය නරඹන්නන්හට (දීප්තියෙන් බැබළෙන) සුදුවන් (සේ දිස්) විය.
34නියත වශයෙන් ම මොහු මනා දැනුමැති මායාකරුවකු යැයි තමන් අවට සිටි ප්‍රධානීන්හට ඔහු (ෆිර්අවුන්) පැවසී ය.
35ඔහුගේ මායාවෙන් නුඹලාව නුඹලාගේ දේශයෙන් පිටුවහල් කිරීමට ඔහු අපේක්ෂා කරයි. එහෙයින් (ඔහු ගැන මට) නුඹලා කුමක් අණ කරන්නෙහු ද?
36ඔහු හා ඔහුගේ සහෝදරයාට කල් දෙනු. තවද නගරවලට (ජනයා) එක්රැස් කරන්නන් එවනු යැයි ඔවුහු (ප්‍රධානීහු) පැවසුවෝ ය.
37මනා දැනුමැති සියලු ම මායාකරුවන් නුඹ වෙත ඔවුන් ගෙන එනු ඇත.
38එසේ නියමිත දිනක නියමිත වේලාවක මායාකරුවන් එක්රැස් කරන ලදි.
39තවද නුඹලා ද එක්රැස්වන්නෝ දැ? යි ජනයාගෙන් විමසන ලදි.
40මායාකරුවන් වන ඔවුහු අබිබවා යන්නන් වූයේ නම් අපට ඔවුන් පිළිපැදිය හැකි වනු ඇත.
41මායාකරුවන් පැමිණි කල්හි අප අබිබවා යන්නන් වූයේ නම් අපට කුලියක් තිබේ දැ? යි ඔවුහු ෆිර්අවුන්ගෙන් විමසූහ.
42එසේය: එවිට නියත වශයෙන් ම නුඹලා (මට) සමීපතයින් අතරින් වන්නෙහුය යැයි ඔහු පැවසී ය.
43නුඹලා හෙළන දෑ හෙළනු යැයි මූසා ඔවුනට පැවසී ය.
44එවිට ඔවුහු ඔවුන්ගේ ලණු හා ඔවුන්ගේ යෂ්ටි හෙළූහ. තවද ෆිර්අවුන්ගේ ගෞරවය මත දිවුරමින් නියත වශයෙන් ම අබිබවා යන්නෝ අප මය යැයි ඔවුහු පැවසූහ.
45එවිට මූසා ඔහුගේ සැරයටිය හෙළී ය. එවිට එය ඔවුන් මවා පාන දෑ ගිල ගත්තේ ය.
46පසුව මායාකරුවන් සිරස නමා නමස්කාර කරන්නන් බවට පත් කර දමන ලදි.
47සර්ව ලෝකයන්හි පරමාධිපතියාණන් ගැන අපි විශ්වාස කළෙමු යැයි ඔවුහු පැවසුවෝ ය.
48ඔහු මූසාගේ හා හාරූන්ගේ පරමාධිපති ය.
49මම නුඹලාට අවසර දීමට පෙර නුඹලා ඔහු විශ්වාස කළෙහු ද? නුඹලාට මායාව ඉගැන් වූ ඔහු නුඹලාගේ ප්‍රධානියා වී ඇත. එහෙයින් නුඹලා මතු දැන ගනු ඇත. නියත වශයෙන් ම නුඹලාගේ අත් හා නුඹලාගේ පාද මාරුවෙන් මාරුවට මම කපා දමමි. තවද මම නුඹලා සියල්ල කුරිසියේ බැද දමමි ඔහු යැයි පැවසී ය.
50කිසිදු ප්‍රශ්නයක් නොමැත. නියත වශයෙන් ම අපි අපගේ පරමාධිපතියාණන් වෙත හැරෙන්නන් වෙමු යැයි ඔවුහු පැවසූහ.
51දේවත්වය විශ්වාස කරන්නන් අතරින් අප ප්‍රමුඛයින් වූ බැවින් අපගේ වැරදිවලට අපගේ පරමාධිපති අපට සමාව දෙනු ඇතැයි නියත වශයෙන් ම අපි ප්‍රිය කරන්නෙමු.
52තවද මාගේ ගැත්තන් රැගෙන නුඹ රාත්‍රියේ පිටත්ව යනු. නියත වශයෙන් ම නුඹලා ලුහුබඳිනු ලබන්නෝ යැයි මූසා වෙත අපි දේව පණිවිඩ එව්වෙමු.
53එවිට ෆිර්අවුන් (මොවුන් ගැන නිවේදනය කරනු වස්) නගරවලට රැස් කරන්නන් එ වී ය.
54නියත වශයෙන් ම මොවුන් (මූසාගේ පිරිස) ස්වල්ප පිරිසක් පමණි.
55තවද නියත වශයෙන් ම මොවුහු අපට කෝපය ඇති කළවුන් වෙති.
56තවද නියත වශයෙන් ම අපි සියලු දෙනා අවදියෙන් සිටිය යුත්තෝ වෙමු.
57එහෙයින් (ෆිර්අවුන් හා ඔහුගේ සමූහය භුක්ති විඳිමින් සිටි) උයන්වලින් හා උල්පත්වලින් අපි ඔවුන් බැහැර කළෙමු.
58නිධන්වලින් හා ගෞරවනීය ස්ථානයෙන් ද (අපි ඔවුන් බැහැර කළෙමු.)
59එලෙස අපි ඒවා ඉස්රාඊල් දරුවන්ට උරුම කර දුන්නෙමු.
60පසුව උදෑසනට උදාවෙමින් ඔවුහු ඔවුන් ලුහු බැන්දෝ ය.
61කණ්ඩායම් දෙක එකිනෙකා දුටු කල්හි, නියත වශයෙන් ම අපි කොටු කරනු ලබන්නෝ වූයෙමු යැයි මූසාගේ සගයෝ පැවසූහ.
62එසේ නොව නියත වශයෙන් ම මා සමඟ මාගේ පරමාධිපති සිටියි. ඔහු මට මග පෙන්වනු ඇතැයි ඔහු පැවසී ය.
63ඔබේ සැරයටියෙන් මුහුදට ගසන මෙන් අපි මූසාට දන්වා සිටියෙමු. එවිට එය පැළි ගියේ ය. (පැළී ගිය) සෑම කොටසක්ම මහා කඳු මෙන් (ජලකඳ ඉහළට එස)විය.
64තවද අපි එහි (ෆිර්අවුන්ගේ සේනාව වූ) අනෙක් අයද සමීප කළෙමු.
65තවද අපි මූසා හා ඔහු සමඟ සිටි සියලු දෙනා මුදවා ගත්තෙමු.
66පසුව අපි අනෙක් අය දියේ ගිල්වීමු.
67නියත වශයෙන් ම එහි සංඥාවක් විය. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන් නො වූහ.
68තවද නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති වන ඔහු මය සර්ව බලධාරී මහා කරුණාන්විතයා.
69තවද නුඹ ඔවුන් වෙත ඉබ්රාහීම්ගේ පුවත කියවා පෙන්වනු.
70නුඹලා කුමක් නමදින්නෙහු දැ? යි ඔහු තම පියාණන් හා තම ජනයාගෙන් විමසූ අවස්ථාව සිහිපත් කරනු.
71අපි පිළිම නමදින්නෙමු. එහෙයින් ඒ වෙනුවෙන් ම අපි රැඳී සිටින්නන් වෙමු යැයි ඔවුහු පැවසූහ.
72නුඹලා අමතන විට නුඹලාට ඔවුන් සවන් දෙන්නේ ද? යැයි ඉබ්රාහීම් විමසී ය.
73එසේ නැතහොත්, ඔවුන් නුඹලාට සෙත සළසන්නේ ද? එසේත් නැතහොත් ඔවුන් හිංසා පමුණුවන්නේ දැ? යි (ඉබ්රාහීම් විමසී ය.)
74එහෙත් අපගේ මුතුන් මිත්තන් එසේ සිදු කරනු අපි දැක ඇත්තෙමුයි ඔවුහු පැවසුවෝ ය.
75නුඹලා නමදිමින් සිටි දෑ කුමක් දැ? යි නුඹලා සිතා බැලුවෙහු දැ? යි ඔහු (ඉබ්රාහිම්) විමසී ය.
76නුඹලා හා නුඹලාගේ මුල් මුතුන් මිත්තන් (නමදිමින් සිටි දෑ).
77හේතුව සර්ව ලෝකයන්හි පරමාධිපති(අල්ලාහ්) හැර ඔවුන් (සියලු දෙනා) මාගේ සතුරන් වන බැවිනි.
78ඔහු(අල්ලාහ්) වනාහි මා මවා මට මග පෙන්වයි.
79තවද ඔහු වනාහි මට ආහාර සපයයි. මට පානය දෙයි.
80තවද මා රෝගී වූ විට ඔහු මට සුවය දෙයි.
81තවද ඔහු වනාහි මා මරණයට පත් කොට පසුව මට (යළි) ජීවය දෙයි.
82තවද ඔහු වනාහි මාගේ වැරදිවලට විනිශ්චය දිනයේ දී මට සමාව දෙනු අතැයි මා ආශා කරන අයයි.
83මාගේ පරමාධිපතියාණනි! මට ප්‍රඥාව පිරිනමනු මැනව! තවද මා දැහැමියන් සමඟ එක් කරනු මැනව!
84තවද පසුව පැමිණෙන ජනයා අතර (සැබෑ ලෙස අගයන) කීර්ති නාමයක් මට ඇති කරනු මැනව!
85තවද සුව පහසුකම් ඇති ස්වර්ගයේ උරුමක්කරුවන් අතරින් මා පත් කරනු මැනව!
86තවද මාගේ පියාණන්ට සමාව දෙනු මැනව! නියත වශයෙන් ම ඔහු නොමග ගිය අය අතරින් කෙනෙකු විය.
87තවද මළවුන් කෙරෙන් (ජනයා) නැගිටුවනු ලබන දින නුඹ මා අවමානයට පත් නො කරනු මැනව!
88(එය) ධනය හෝ දරුවන් හෝ ප්‍රයෝජනවත් නො වන දිනකි.
89එහෙත් ආරෝග්‍යමත් හදවතකින් අල්ලාහ් වෙත පැමිණෙන්නන් හැර.
90තවද බිය බැතිමතුන්හට ස්වර්ගය සමීප කරවනු ලැබේ.
91තවද සීමාව ඉක්මවා ගියවුන්ට නිරය හෙළි කරනු ලැබේ.
92(අල්ලාහ් හැර දමා) නුඹලා නමදිමින් සිටි දෑ කොහේ දැ? යි ඔවුන්ගෙන් විමසනු ලැබේ.
93අල්ලාහ් හැර දමා නුඹලා නමදිමින් සිටි ඔවුහු නුඹලාට උදව් කරන්නෝ ද? එසේ නැතහොත් ඔවුහු උදව් ලබන්නෝ ද?
94එවිට එහි ඔවුහු හා සීමාව ඉක්මවූවෝ මුණින් අතට හෙළනු ලබති.
95ඉබ්ලීස්ගේ සේනාව යන සියලු දෙනා ද (මුණින් අතට) හෙළනු ලබති.
96තවද ඔවුහු එහි වාද කර ගනිමින් මෙසේ පවසති.
97අල්ලාහ් මත දිවුරමින් නියත වශයෙන් ම අපි පැහැදිලි නොමගෙහි වූයෙමු.
98සර්ව ලෝකයන්හි පරමාධිපතිට සමානයන් ලෙස අපි නුඹලාව පත් කළ අවස්ථාවේ…(අපි පැහැදිලි නොමගෙහි වූයෙමු.)
99තවද එවන් අපරාධකරුවෝ මිස වෙනත් කිසිවකු අපව නොමග නො යැවී ය.
100එහෙයින් අප වෙනුවෙන් මැදිහත්වන්නන් කිසිවකු හෝ නොමැත.
101තවද (උණු වන හදවතක් ඇති) සමීප මිතුරෙකු හෝ නොමැත.
102එහෙයින් අපහට තවත් වාරයක් වී නම් එවිට අපි දේවත්වය විශ්වාස කරන්නන් අතරින් වන්නෙමු.
103නියත වශයෙන් ම එහි සංඥාවක් ඇත. එහෙත්, ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන් නො වූවෝ ය.
104තවද නියත වශයෙන් ම නුඹගේ පරමාධිපතියාණන් වන ඔහු මය සර්ව බලධාරී මහාකරුණාන්විත.
105නූහ්ගේ ජනයා ධර්ම දූතවරුන් බොරු කළෝ ය.
106නුඹලා බිය බැතිමත් විය යුතු නො වේ දැ? යි ඔවුන්ගේ සහෝදර නූහ් ඔවුනට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
107නියත වශයෙන් ම මම නුඹලා සඳහා වූ විශ්වාසනීය දූතයකි.
108එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.
109තවද ඒ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නො ඉල්ලමි. මාගේ කුලිය සර්ව ලෝකයන්හි පරමාධිපතියාණන් වෙත මිස වෙනත් අයෙකු වෙත නැත.
110එහෙයින් නුඹලා අල්ලාහ්ට බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු. (යැයි පැවසූහ.)
111පහත් අය නුඹව අනුගමනය කරමින් සිටියදී අපි නුඹව විශ්වාස කරන්නෙමු දැ? යි ඔවුහු විමසුවෝ ය.
112ඔවුන් සිදු කරමින් සිටි දෑ පිළිබඳව මට දැනුම නො මැතැයි ඔහු පැවසුවේ ය.
113නුඹලා වටහා ගන්නේ නම් ඔවුන්ගේ ගිණුම ද මාගේ පරමාධිපති මත මිස වෙනත් කිසිවකු මත නැත.
114තවද මම දේවත්වය විශ්වාස කරන්නන් පලවා හරින්නෙකු නො වෙමි.
115මම පැහැදිලි අවවාද කරන්නෙකු මිස වෙනත් කෙනෙකු නො වෙමි.
116අහෝ නූහ්! නුඹ මෙයින් නො වැළකුණෙහි නම් සැබැවින් ම නුඹ ගල් ගසනු ලබන්නන් අතරින් වනු ඇතැයි ඔවුහු පැවසූහ.
117මාගේ පරමාධිපතියාණනි! නියත වශයෙන් ම මාගේ ජනයා මා බොරු කළෝය යැයි ඔහු පැවසී ය.
118එහෙයින් මා අතර හා ඔවුන් අතර විවෘත තීන්දුවක් දෙනු මැනව! තවද මා ද මා සමඟ සිටින අය අතරින් දේවත්වය විශ්වාස කරන්නන් ද නුඹ මුදවා ගනු මැනව!
119එවිට (ජීවරාශීන්) පටවනු ලැබූ නැවෙහි සිටි ඔහු හා ඔහු සමඟ සිටියවුන් ද අපි මුදවා ගත්තෙමු.
120ඉන් අනතුරුව අපි ඉතිරිවූවන් (දියෙහි) ගිල්වූයෙමු.
121නියත වශයෙන් ම එහි සංඥාවක් ඇත. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන් නො වූවෝ ය.
122තවද නියත වශයෙන් ම නුඹගේ පරමාධිපතියාණන් වන ඔහු මය සර්ව බලධාරී මහාකරුණාන්විතයා.
123ආද් ජනයා (ද) ධර්ම දූතයින් බොරු කළෝ ය.
124නුඹලා බිය බැතිමත් විය යුතු නො වේ දැ? යි ඔවුන්ගේ සහෝදර හූද් ඔවුනට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
125නියත වශයෙන් ම මම නුඹලා වෙනුවෙන් වූ විශ්වාසනීය ධර්ම දූතයක්මි.
126එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.
127තවද ඒ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නො ඉල්ලමි. මාගේ කුලිය සර්ව ලෝකයන්හි පරමාධිපතියාණන් මත මිස වෙනත් අයෙකු මත නො වේ.
128සෑම උස් තැනකම නුඹලා විනෝදය පිණිස සංඥා (කුළුණු) තනන්නෙහු ද?
129තවද නුඹලා සදා ජීවත් වීමට බලමින් මන්දිර තනා ගන්නෙහු ද?
130තවද නුඹලා (කිසිවකු) හසු කළ විට දැඩි පාලකයින් ලෙසින් නුඹලා හසු කර ගන්නෙහු ය.
131එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.
132තවද නුඹලා දන්නා දෑ මඟින් නුඹලාට උපකාර කළ ඔහුට නුඹලා බිය බැතිමත් වනු.
133ගොවිපළ සතුන් මෙන් ම දරුවන් මඟින් ඔහු නුඹලාට උපකාර කළේ ය.
134තවද උයන් හා උල්පත් මඟින් ද (ඔහු නුඹලාට උපකාර කළේ ය.)
135නියත වශයෙන් ම මම නුඹලා කෙරෙහි මහත් දිනයක දඬුවම ගැන බිය වෙමි.
136නුඹ උපදෙස් කළ ද එසේ නැතහොත් නුඹ උපදෙස් කරන්නන් අතරින් නො වූව ද අප වෙත එක සමානය යැයි ඔවුහු පැවසූහ.
137මෙය මුතුන් මිත්තන්ගේ ගති පැවතුම් මිස වෙනෙකක් නො වීය.
138තවද අපි දඬුවම් කරනු ලබන්නන් නො වූයෙමු.
139එසේ ඔවුහු ඔහුව බොරු කළෝ ය. එහෙයින් අපි ඔවුන් විනාශ කළෙමු. නියත වශයෙන් ම එහි සංඥාවක් විය. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන් නො වූවෝය.
140තවද නියත වශයෙන් ම නුඹගේ පරමාධිපතියාණන් වන ඔහු මය මහාකරුණාන්විත සර්ව බලධාරී.
141සමූද් ජනයා ද ධර්ම දූතයින් බොරු කළෝ ය.
142නුඹලා බිය බැතිමත් විය යුතු නො වේ දැ? යි ඔවුන්ගේ සහෝදර සාලිහ් ඔවුනට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
143නියත වශයෙන් ම මම නුඹලා වෙනුවෙන් වූ විශ්වාසනීය ධර්ම දූතයෙක්මි.
144එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.
145තවද ඒ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නො ඉල්ලමි. මාගේ කුලිය සර්ව ලෝකයන්හි පරමාධිපතියාණන් මත මිස වෙනත් අයෙකු මත නො වේ.
146මෙහි සුරක්ෂිතයින් ලෙස නුඹලා අතහැර දමනු ලබන්නෙහු ද?
147උයන් හා උල්පත් අතර ද,
148තවද කෙත් වතු හා වලුබරැති ඉඳි ගස් අතර ද,
149තවද නුඹලා දක්ෂ ලෙසින් කඳු හාරා නිවෙස් තනා ගන්නෙහු ය.
150එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.
151තවද නුඹලා සීමාව ඉක්මවූවන්ගේ නියෝගයට අවනත නො වනු.
152ඔවුහු වනාහි මහපොළොවේ කලහකම් කරන්නෝ වෙති. තවද ඔවුහු විධිමත්ව කටයුතු නො කරති.
153නියත වශයෙන් ම නුඹ හූනියම් කරනු ලැබූවන් අතරින් කෙනෙකු යැයි ඔවුහු පැවසූහ.
154නුඹ අප මෙන් මිනිසෙකු මිස වෙනත් අයෙකු නො වේ. එහෙයින් නුඹ සත්‍යවාදීන් අතරින් නම් සංඥාවක් ගෙන එනු.
155මෙය ඔටු දෙනයි. ඇය වෙනුවෙන් පාන වාරයක් ඇත. තවද නුඹලා වෙනුවෙන් ද නියම කරනු ලැබූ දිනයක පාන වාරයක් ඇත යැයි ඔහු පැවසී ය.
156තවද නුඹලා කිසිදු අයුරින් ඇයට හිරිහැර නො කරනු. එවිට මහත් දිනයක දඬුවම නුඹලා ග්‍රහණය කරනු ඇත.
157එහෙත් ඔවුහු ඌව මරා දැමුවෝ ය. එහෙයින් ඔවුහු පසුතැවිලි වන්නන් වූවෝ ය.
158එවිට එම දඬුවම ඔවුන්ව ග්‍රහණය කළේ ය. නියත වශයෙන් ම එහි සංඥාවක් විය. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන් නො වූහ.
159තවද නියත වශයෙන් ම නුඹගේ පරමාධිපතියාණන් වන ඔහු මය සර්ව බලධාරී මහාකරුණාන්විත.
160ලූත්ගේ ජනයා ද දහම් දූතයින් බොරු කළෝ ය.
161නුඹලා බිය බැතිමත් විය යුතු නො වේ දැ? යි ඔවුන්ගේ සහෝදර ලූත් ඔවුනට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
162නියත වශයෙන් ම මම නුඹලා වෙත (එවනු ලැබුවා) වූ විශ්වාසනීය ධර්ම දූතයෙක්මි.
163එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.
164තවද ඒ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නො ඉල්ලමි. මාගේ කුලිය සර්ව ලෝකයන්හි පරමාධිපතියාණන් මත මිස වෙනත් අයෙකු මත නො වේ.
165නුඹලා ලෝවැසියන් අතරින් පිරිමින් වෙත යන්නෙහු ද?
166තවද නුඹලාගේ බිරියන් අතරින් නුඹලාගේ පරමාධිපති නුඹලා වෙනුවෙන් මවා ඇති දෑ අත හැර දමමින් (පිරිමින් වෙත යන්නෙහු ද?) නමුත් නුඹලා සීමාව ඉක්මවා ගිය පිරිසකි.
167අහෝ ලූත්! නුඹ එයින් නො වැළකුණෙහි නම්, සැබැවින් ම නුඹ බැහැර කරනු ලබන්නන් අතරින් වන්නෙහිය යැයි ඔවුහු (නූහ්ගේ ජනයා) පැවසුවෝ ය.
168නියත වශයෙන් ම මම නුඹලාගේ ක්‍රියාව පිළිකුල් කරන්නන් අතරින් කෙනෙකු වෙමි යැයි ඔහු (ලූත්) පැවසී ය.
169පරමාධිපතියාණනි! ඔවුන් සිදු කරන දැයින් මා හා මාගේ පවුල මුදවා ගනු මැනව!
170ඔහු හා ඔහුගේ දරු පවුලේ සෙසු සියලු දෙනා අපි මුදවා ගත්තෙමු.
171එවිට රැඳී සිටියවුන් අතර වූ මැහැල්ලියක් හැර.
172පසු ව අපි අනෙක් අය විනාශ කර දැමුවෙමු.
173තවද අපි ඔවුන් වෙත මහා වර්ෂාවක් පහළ කළෙමු. එවිට අවවාද කරනු ලැබූවන් සඳහා වූ වර්ෂාව දරුණු විය.
174නියත වශයෙන් ම එහි සංඥාවක් විය. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන් නො වූවෝ ය.
175තවද නියත වශයෙන් ම නුඹගේ පරමාධිපතියාණන් වන ඔහු මය සර්ව බලධාරී මහාකරුණාන්විතයා.
176අය්කා වාසීහු ද ධර්ම දූතයින් බොරු කළෝ ය.
177නුඹලා බිය බැතිමත් විය යුතු නො වේ දැ? යි ෂුඅයිබ් ඔවුනට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
178නියත වශයෙන් ම මම නුඹලා වෙනුවෙන් වූ විශ්වාසනීය ධර්ම දූතයෙක්මි.
179එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.
180තවද ඒ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නො ඉල්ලමි. මාගේ කුලිය සර්ව ලෝකයන්හි පරමාධිපතියාණන් මත මිස වෙනත් අයෙකු මත නො වේ.
181නුඹලා කිරුම් මිනුම් පූර්ණවත් ලෙසින් ඉටු කරනු. තවද නුඹලා අලාභ කරන්නන් අතරින් නො වනු.
182තවද නිවැරදි තුලනයෙන් නුඹලා කිරනු.
183තවද නුඹලා ජනයාට ඔවුන්ගේ භාණ්ඩවල අඩුපාඩු නො කරනු. තවද නුඹලා මහපොළොවේ කලහකාරීන් ලෙස නො සැරිසරනු.
184තවද නුඹලා හා (නුඹලාට) පෙර මැවීම් මැවූ ඔහුට නුඹලා බිය බැතිමත් වනු.
185නියත වශයෙන් ම නුඹ හූනියම් කරනු ලැබූවන් අතරිනි යැයි ඔවුහු පැවසුවෝ ය.
186තවද නුඹ අප මෙන් මිනිසෙකු මිස වෙනත් අයෙකු නො වේ. තවද සැබැවින් ම අපි නුඹ බොරුකාරයින්ගෙන් කෙනෙකු යැයි සිතමු.
187එහෙයින් නුඹ සත්‍යවාදීන් අතරින් කෙනෙකු නම් අහසින් කැබැල්ලක් අප වෙත වැටෙන්නට සලස්වනු.
188නුඹලා සිදු කරන දෑ පිළිබඳව මාගේ පරමාධිපති මැනවින් දන්නාය යැයි ඔහු පැවසී ය.
189එවිට ඔවුහු ඔහු බොරු කළෝ ය. එහෙයින් අඳුරු (වළාවෙන්) ආවරණ කරන දිනයේ දඬුවම ඔවුන් ග්‍රහණය කළේ ය. නියත වශයෙන් ම එය දරුණු දිනයක දඬුවමක් විය.
190නියත වශයෙන් ම එහි සංඥාවක් විය. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන් නො වූවෝ ය.
191තවද නියත වශයෙන් ම නුඹගේ පරමාධිපතියාණන් වන ඔහු මය සර්වබලධාරී මහාකරුණාන්විතයා.
192තවද නියත වශයෙන් ම මෙය ලෝවැසියන්ගේ පරමාධිපතිගෙන් වූ පහළ කිරීමක් ම ය.
193විශ්වාසනීය ආත්මය එය රැගෙන පහළ විය.
194නුඹ අවවාද කරන්නන් අතරින් වනු පිණිස (නබිවරය!) නුඹේ හදවත වෙත,
195පැහැදිලි අරාබි බසින්.
196තවද නියත වශයෙන් ම එය මුතුන් මිත්තන්ගේ ලේඛන වල විය.
197තවද ඉස්රාඊල් දරුවන්ගේ විද්වතුන් ඒ ගැන දැන සිටීම ඔවුනට සංඥාවන් නො වී ද?
198තවද අරාබි නො වන ඇතැමුන් වෙත අපි එය පහළ කළේ නම්,
199එය ඔහු ඔවුනට කියවා පෙන්වූයේ නම් ඔවුන් ඒ ගැන විශ්වාස කරන්නන් නොවනු ඇත.
200වැරදිකරුවන්ගේ හදවත් තුළ අපි එය ඇතුළත් කළේ එලෙස ය.
201වේදනීය දඬුවම ඔවුන් දකින තෙක් ඒ පිළිබඳව ඔවුහු විශ්වාස නො කරති.
202එහෙයින් ඔවුන් නො හඟමින් සිටියදී ක්ෂණිකව ඔවුන් වෙත එය (දඬුවම) පැමිණෙනු ඇත.
203එවිට ඔවුහු අප කල් දෙනු ලබන්නන් වන්නෙමු දැ? යි අසති.
204එසේනම් ඔවුහු අපගේ දඬුවම ඉක්මණින් පතන්නෝ ද?
205ඔබ නො දන්නෙහි ද? ඔවුනට වසර ගණනාවක් අප භුක්ති විඳීමට සලස්වා,
206පසුව ඔවුනට පොරොන්දු දෙනු ලබමින් සිටි දෑ ඔවුන් වෙත පැමිණි විට,
207ඔවුන් භුක්ති විඳිමින් සිටි දෑ ඔවුනට ඵලක් නො වනු ඇත.
208තවද කිසිදු ගම්මානයක් එහි (එ වන ලද) අනතුරු අඟවන්නන්ගෙන් තොරව අපි විනාශ නො කළෙමු.
209(ඔවුන් එවනු ලැබුවේ) මෙනෙහි කිරීමක් වශයෙනි. තවද අපි අපරාධකරුවන් නො වූයෙමු.
210තවද ෂෙයිතාන්නු එය පහළ නො කළෝ ය.
211තවද ඔවුනට එය සුදුසු (කාර්යයක්) නො වීය. තවද ඔවුහු එයට ශක්තිය නො දරති.
212නියත වශයෙන් ම ඔවුහු (එයට) සවන්දීමෙන් ඉවත් කරනු ලැබූවෝ වෙති.
213එහෙයින් නුඹ අල්ලාහ් සමඟ වෙනත් දෙවියකු ඇරයුම් නො කරනු. එවිට නුඹ දඬුවම් කරනු ලබන්නන් අතරින් වනු ඇත.
214තවද නුඹගේ සමීප ඥාතීන්ට නුඹ අවවාද කරනු.
215තවද දේවත්වය විශ්වාස කරන්නන් අතරින් නුඹව අනුගමනය කළවුන්හට නුඹගේ (කරුණාවේ) පියාපත් පහත් කරනු.
216එහෙත් ඔවුන් නුඹට පිටුපෑවේ නම්, නියත වශයෙන් ම නුඹලා සිදු කරන දැයින් මම නිදහස් වූ අයෙකි යැයි නුඹ පවසනු.
217තවද නුඹ සර්ව බලධාරී මහාකරුණාන්විතයාණන් මත (සියල්ල) භාර කරනු.
218ඔහු වනාහි නුඹ නැගිට නැමදුම් කරන විට නුඹව දකින්නා ය.
219තවද සුජූද් කරන්නන් අතර නුඹගේ චලනය ද (ඔහු දකින්නාය).
220නියත වශයෙන් ම ඔහු මය සර්ව ශ්‍රාවක සර්ව ඥානී.
221ෂෙයිතානුන් පහළ වන්නේ කවුරුන් වෙත දැ? යි මම (දේවත්වය විශ්වාස කරන) නුඹලාට දන්වන්න ද?
222පාපකම් කරන බොරු ගොතන සෑම කෙනෙකු වෙත ම ඔවුහු පහළ වෙති.
223සවනට වැකුණු දෑ ඔවුහු ඉදිරිපත් කරති. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා මුසාවාදීහු ය.
224තවද කවිවරුන් වනාහි; නොමග ගියවුන් ඔවුන්ව අනුගමනය කරති.
225නියත වශයෙන් ම ඔවුන් සෑම මිටියාවතකම නිදැල්ලේ හැසිරෙනු නුඹ නො දුටුවෙහි ද?
226තවද නියත වශයෙන් ම ඔවුහු තමන් සිදු නො කරන දෑ (කළ බවට) පවසති.
227එහෙත් දේවත්වය විශ්වාස කර යහකම් කර අල්ලාහ්ව අධික වශයෙන් මෙනෙහි කර අපරාධ කරනු ලැබූවායින් පසු තම ආරක්ෂාව සලස්වා ගත් අය හැර. තවද තමන් කවර තැනකට යොමු වන්නේ දැ? යි අපරාධ කළවුන් මතු දැන ගනු ඇත.